ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මාරුකළ වැඩබලන අධ්‍යක්‍ෂගේ පරිපාලන හේතු කවරේදැයි කියන්න

  👤  2528 readers have read this article !
By mawbima 2019-02-12

ජේ.ටී. ද සිල්වා

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ, වෛද්‍ය සුසිත සේනාරත්න පරිපාලන හේතු මත තනතුරෙන් ඉවත් කර ස්ථාන මාරුකර ඇති බැවින් ස්ථාන මාරු ලිපියේ සඳහන් පරිපාලන හේතු කවරේදැයි හෙළි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

වැඩබලන අධ්‍යක්‍ෂ තනතුරින් ඉවත් කිරීමට තරම් පරිපාලන හේතු පිළිබඳ මාධ්‍ය මඟින් ජනතාව දැනවත් කරන ලෙසත්, එසේ තනතුරෙන් ඉවත් කළ සුසිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයකු වන බැවින් ඔහු එම තනතුරෙන්ද වහාම ඉවත් කරන ලෙසද එම සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂවරයා වහා ස්ථාන මාරුකර ඇත්තේ රිජ්වේ ළමා රෝහලේ සාමාන්‍ය වෛද්‍යවරයකු ලෙස බවත් ඔහු එසේ ස්ථාන මාරුකර ඇත්තේ සුවපති අසුනට වඩා බලවත් අසුන් රත්වීම නිසාදැයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂයේම නියෝජ්‍ය ඇමැතිවරයකු වන බුද්ධික පතිරණ මහතා සමසාගම්වල නමක් සඳහන් නොකර කිරිපිටිවල ෆාම් ඔයිල් සහ උෟරු තෙල් තිබෙන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා ෆොන්ටේරා සමාගම මඟින් නිපදවන කිරිපිටිවල කිසිම වැරැද්දක් නොමැති බව සඳහන් කළ බවත් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සාමාන්‍යයෙන් මාධ්‍ය නිවේදන සිංහල භාෂාවෙන් මාධ්‍යයට නිකුත් කරන නමුත් කිරිපිටි සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ඉංගී්‍රසි භාෂාවෙන් නිකුත් කර ඇතැයි පෙන්වා දුන් වෛද්‍ය නවීන් ද සොයිසා, එම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ නවසීලන්ත සමාගම්වලට යැයි පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ඇමැතිවරයාට හිතවත් නිලධාරීන්, ෆොන්ටේරා සමාගමෙන් ටිකට් ලබාගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීම්වලට සහභාගිවී තිබෙන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියක් නොලබා හැට පැනපු නිලධාරීන් පිරිසක් අදත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටුවල සිටින බවත් පැවැසූ වෛද්‍ය නවීන්ද සොයිසා රාජිත සේනාරත්න සුවපති යුගය සෞඛ්‍ය අමාත්‍යාංශයට අවාසනාවන්තම යුගය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගකීමෙන් යුතුව සඳහන් කරන බව පැවැසීය.

අ.පො.ස. (උසස් පෙළ) අසමත්, වෛද්‍ය සභාවේ අනුමැතියක් නොලැබූ ශිෂ්‍ය පිරිසකට සීමාවාසික පත්වීම් ලබාදීමට යන බවත් එස් 3 නොමැති පුද්ගලයකුට සීමාවාසික පත්වීමක් ලබා දුනහොත්, තම සංගමය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනටමත් තීරණය කර ඇති බවත් කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

ජයවර්ධනපුර රෝහලේ සිදුවී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත්, එම රෝහලේ සභාපතිවරයා සම්බන්ධයෙනුත් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් එම විමර්ශනය සිදු කිරීමේදී අදාළ පුද්ගලයන් එම ස්ථානවලින් ඉවත් කර විමර්ශන ආරම්භ කරන ලෙසත් වෛද්‍ය නවීන් ද සොයිසා ඉල්ලා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon