කෙරවළපිටියේ වායු බලාගාර ටෙන්ඩරය චීනයට දුන්නොත් මිලියන 75,000ක මූල්‍ය පාඩුවක්

  👤  2527 readers have read this article !
By mawbima 2019-02-12

හර්ෂනී අර්සකුලරත්න

කෙරවළපිටියේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300ක ස්වාභාවික ද්‍රවකෘත වායු (ඹ්ව්ට්) බලාගාර ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව චීන සමාගමක් වෙත ලබාදීම සඳහා අද (12දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුවහොත් ඉන් රටට රුපියල් මිලියන හැත්තෑපන්් දහසක මූල්‍ය පාඩුවක් සිදුවන බව විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති.

ටෙන්ඩර් කැඳවීමේදී දක්වා තිබූ කොන්දේසීන්ට පිටින් යමින් නවතම පිරිවිතරයන් සැලකිල්ලට ගනිමින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා ඇති බවත්, මේ ටෙන්ඩරය කැඳවීමේදී තිබූ ප්‍රධානම තාක්ෂණික කොන්දේසියක්ද බිඳිමින් එම පත්‍රිකාව සකස් වී ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

ස්වාභාවික ද්‍රවකෘත වායු බලාගාරය ඉදිකිරීමෙන් අනතුරුව පළමු වසර තුන ඇතුළතදී එය ඩීසල් බලාගාරයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් ඉන් අනතුරුව විදුලි ජනන කටයුතු ස්වාභාවික ද්‍රවකෘත වායු (ඹ්ව්ට්) වලින් කළ යුතු බවත් එම කොන්දේසිය වේ.

එසේ තිබියදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාවට අනුව එම බලාගාරය ආරම්භක දිනයේ සිටම ස්වාභාවික ද්‍රව වායු වලින් විදුලි ජනනය කළ යුතුව පවතී.

ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව පනවා ඇති මේ කොන්දේසිය හේතුවෙන් ගැටලු රැසක් පැනනඟින බවත් බලාගාරය ආරම්භක දිනයේ සිටම එල්.එන්.ජී. මඟින් ක්‍රියාත්මක වන්නේ නම් බලාගාරය සඳහා ඩීසල් දහන උපකරණ සවි කළ යුතු නැති අතර ඒ නිසා එක් එක් ටෙන්ඩර්කරුවන් ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් කෙරූ එම ඉදිකිරීම් වියදම්ද විශාල මුදලකින් අඩුවන බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එසේම ටෙන්ඩර්කරුවන් එකිනෙකා ගෑස් සඳහා පමණක් ඉදිරිපත් කර ඇති විදුලි ඒකක මිල ගණන්ද වෙනස් වන අතර අවම මිල ඉදිරිපත් කළ දේශීය සමාගම, දෙවැනි අවම මිල ඉදිරිපත් කළ චීන සමාගම ද නොව වෙනත් සමාගමකට හෝ අවම මිල ඉදිරිපත් කිරීමට ඉඩකඩ තිබුණු බව එම විශ්ලේෂකයන් සඳහන් කළේය.

විදුලිබල ව්‍යාපෘතියක ටෙන්ඩරය පිරිනමන අවස්ථාවේදී ඊට අදාළ විදුලි මිලට ගැනීමේ ගිවිසුම් මෙන්ම ගෑස් සැපයුම් ගිවිසුම්ද අස්සන් කළ යුතුව ඇති අතර මේ වනතුරු එල්.එන්.ජී. ගෑස් සැපයුම්කරුවකු එල්.එන්.ජී. හෝ පර්යන්තයක් නොමැති නිසාත් මේ බලාගාරයට අදාළ ගෑස් සැපයුම් ගිවිසුමක් අස්සන් කිරීම ගැටලුවක් බවද ඔවුහු පවසති.

මේ වන විට එල්.එන්.ජී. පර්යන්තය ඉදිරිකිරීමට අදාළ ටෙන්ඩරයද ගැටලු රැසක් සහිතව පවතින අතර ගෑස් සැපයුමක්, ගිවිසුමක් රහිතව පවතින මෙවැනි බලාගාරයක් ඉදිකිරීමේදී ගැටලු රැසක් පැනනඟින බවත් ඉදිකිරීම් කළද එය ක්‍රියාත්මක වීමට ස්වාභාවික ද්‍රව වායු රට තුළ නොමැති හෙයින් ඉදිකිරීමෙන් අත්වන ප්‍රයෝජනය කුමක්ද යන්න ඔවුන්ට ප්‍රශ්නයකි.

එසේම මේ වන විට මෙම ටෙන්ඩරය සඳහා අවම මිල ඉදිරිපත් කළ දේශීය සමාගම (ලක්දනව්) මේ ටෙන්ඩරය චීන සමාගමට පැවරීමට අදාළ තීරණය වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්ද ගොනු කර ඇති අතර එහිදී අභියාචනාධිකරණය වග උත්තරකාර පාර්ශ්වයන් වන විදුලිබල ඇමැති රවි කරුණානායක, අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ ඇතුළු පාර්ශ්වයන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතැයි ද වාර්තා වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon