සංක්‍රාන්ති යුක්තිය හා සිංහල-දමිළ ජාතිවාදය

  👤  2532 readers have read this article !
By mawbima 2019-02-12

ඔක්තෝබර් 26 වැනි දින ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදයට තවත් කළු පැල්ලමක් එක් විය. හිටපු ජනාධිපතිතුමන් වන මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම සහ අනතුරුව සිදුවූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව සක්සුදක්සේ පැහැදිලිය. මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමය ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදය අගාධයට ඇද දැමීමක් විය.

කෙසේ වෙතත් ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන සහ ඇතැම් ඒ පිළිබඳ සැලකිලිමත් පුරවැසියන් යන්නන්ගේ බලවත් කැපවීම මත දෙසැම්බර් 13 වැනි දින ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදයේ දෛවය නැවත ලියන ලදී. එහි තීන්දුව ප්‍රකාශ කරමින්, ජනාධිපතිතුමන් විසින් කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශුන්‍ය සහ බල රහිත බවත් ව්‍යවස්ථාව යටතේ තම බලය අභිභවා ක්‍රියාත්මක වීමක් බවත් ශේ්‍රෂ්ඨාධිකරණය ස්වාධීනව ප්‍රකාශ කරන ලදී. මෙය ලාංකේය නීති පද්ධතියේ ස්වාධීනත්වය මනාව උදීපානය වූ උත්සවාකාර මොහොතක් ලෙස සැලකිය හැකිය. අප ප්‍රජාතන්ත්‍රවාදය සමරන මුත් ප්‍රජාතන්ත්‍රවාදය අවදානමට ලක්වූ කාල පරාසය තුළ මතුවූ සහ තවමත් පවතින අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් ඇත.

තිස් වසරක දරුණු යුද්ධයකට මූලික වූ ජාතිවාදයේ හිස එසවීම මෙම කාලය තුළ දක්නට ලැබුණු ඉතා භයානක තත්ත්වයක් විය. ඔවුන්ගේ පටු දේශපාලන වාසි අරමුණු කරගෙන සමාජය අතර නොයකුත් ජාතිවාදී මිථ්‍යා මත පතුරුවා ඇත. මෑතකදී රට තුළ ඇතිවූ ප්‍රජාතන්ත්‍රික කඩා වැටීමේදී රට පුරා ජාතිවාදී මති මතාන්තර පතුරුවා හැර ඇත.

නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වීම තුළ ඉතා බරපතළ අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් කිරීම සහ හානි පූර්ණ කාර්යාලය පිහිටුවීම ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මකවීම තුළ ඉතා වැදගත් පියවරක් වේ. නමුත් මෙම කාලය තුළ මෙම සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය සුළු ජනතාව වෙත සිංහල ජනතාව තුළින් ජාතිවාදය ඇවිස්සීම සඳහා යොදා ගැනුණි.

හිටපු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍ය ලෙස බලයට පත් වීමෙන් අනතුරුව නව ව්‍යවස්ථාව තුළින් රට දෙකඩ වන බැවින්, එය සම්මත වීම වැළැක්වීම උදෙසා එම තනතුර භාරගත් බව ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස, අප සැවොම පනතක් සම්මත වන අයුරු හෝ එයට සංශෝධන ඇතුළත් කරන අයුරු දැන සිටිය යුතුයි. 1978 ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි නව ව්‍යවස්ථාවක් ගෙන ඒම හෝ සංශෝධන ඇතුළත් කිරීමට අවසර ලබාදෙයි.

ව්‍යවස්ථාවේ 82 (5) වගන්ති ප්‍රකාරව යම් සංශෝධනයක් ගෙන ඒමට හෝ යම් කොටසක් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් (එම මොහොතේ සහභාගි නොවූවන්ද සමඟ) අවැසි වේ. මෙම කොටසෙහි ඉතා පැහැදිලිව දක්වා තිබෙන්නේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් තොරව නව ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සිදුකළ නොහැකි බව. මීට අමතරව ව්‍යවස්ථාවේ 83 (ච) වගන්ති ප්‍රකාරව කිසියම්ම සංශෝධනයක් 'ශ්‍රී ලාංකේය ජනරජය ඒකීය රාජ්‍යයක්' යන ප්‍රකාශය සහිත වන වගන්ති 2 සමඟ පටහැනි වේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය වේ.

එම නිසාවෙන් ව්‍යාජ චෝදනාවට අනුකූලව නව ව්‍යවස්ථාවේ අවසාන කෙටුම්පත දැනටමත් සූදානම් නම් සහ එය රට බෙදා වෙන් කරයි නම් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වේ. ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව ඉහත දක්වන ලද කොටස් තහවුරු කර ඇති නිසාද අධිකරණය දේශපාලනික බලපෑම්වලින් ස්වාධීන බව මෑතකදී සාක්‍ෂි ලෙස දැක ඇති නිසාවෙන්ද, නව ව්‍යවස්ථාව රහසිගත ලෙස හෝ අත්තනෝමතික ලෙස අනුමත කළ නොහැකිය.

නව ව්‍යවස්ථාව බලාත්මක කිරීම සඳහා රටේ උත්තරීතර නීතිය වූ පවතින ව්‍යවස්ථාවේ සියලුම අවශ්‍යතාවන් සැපිරිය යුතුයි. තවද නව ව්‍යවස්ථාව රටේ ඒකීයභාවය වෙනස් කිරීමට රුකුල් දේ නම්, ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වේ. එය හුදෙක් තනි පුද්ගල කැමැත්ත, දේශපාලනික පක්‍ෂයක හෝ සංවිධානයක තනි කැමැත්ත මත අනුමත නොවේ.

තවත් ප්‍රධාන හේතුවක් ලෙස යහපාලනය, යහපාලනය අභියෝගවලට ලක් කරන්නේ, එල්.ටී.ටී.ඊ. පරදවා රට බේරාගත් යුද විරුවන් හට දඬුවම් දෙන බව ප්‍රකාශ කරමින්ය. තම දේශපාලන බලය සිංහල ජනතාව අතර රැක ගැනීම සඳහා යුද විරුවන් ලෙස ජනවාර්ගික පැතිකඩ ඉස්මතු කිරීමට ක්‍රියාත්මක කිරීම වර්තමාන දේශපාලන භුමිකාව තුළ ප්‍රබල ආයුධයක් ලෙස යොදාගෙන ඇත. මෙමඟින් රටවැසියන් මානසිකව සහ ඉතා පහසුවෙන් පොලඹවා ගත හැකිය. කෙසේ වෙතත් ජිනීවා ප්‍රඥප්තිය හෝ අනෙකුත් කිසිම කරුණක් මඟින් 'යුද විරුවන්' දඬුවමට ලක් කළ නොහැකිය. ඒ වෙනුවට යෝජනා කර ඇති දේ නම් සියලුම පාර්ශ්වයන්ගේ (එල්.ටී.ටී.ඊ. සහ රජය) යුද අපරාධ සිදු කරන ලද පුද්ගලයන්ට දඬුවම් කිරීමයි. මෙහිදී යුද්ධය පැවැති කාලය තුළ ඉතා අමානුෂික යුද අපරාධ සිදුකළ අපරාධකරුවන් මිස 'යුද විරුවන්' ඇතුළත් නොවේ.

තවද, යුද සමය තුළ යුද අපරාධ සිදුකර ඇති ඕනෑම හමුදා නිලධාරියෙක්, යුද අපරාධකරුවෙක් ලෙස මිස යුද විරුවෙක් ලෙස නොදැකිය යුතුයි. ශ්‍රී ලංකාව නොයෙකුත් මානව අයිතිවාසිකම්, ප්‍රඥප්ති අස්සන් කර, මානව අයිතිවාසිකම් සුරැකීමට සහ ප්‍රවර්ධනයට කැපවී ඇති නිසාවෙන් මෙන්ම පවතින ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මඟින්ද, පවතින පාලක පක්‍ෂයෙහි කැමැත්ත කුමක් වුවද ලංකාවේ නීතිමය රාමුවට වහන්වී යුද අපරාධ කරන ලද අපරාධකරුවන් හට සහ 'යුද විරුවන්' ලෙස ව්‍යාජ ලේබලයක් දරා සිටින්නවුන් හට දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකාවේ රජය සඳහා සදාචාරාත්මක වගකීමක් ඇත.

හානිපූරණය සඳහා වන කාර්යාලය, එල්.ටී.ටී.ඊ. වෙත මූල්‍යමය සහන ලබා දෙන්නක් ලෙස නම් කොට එය පාර්ලිමේන්තුව තුළ සම්මත වීමට පෙරද 2015 ඔක්තෝබර් 9 වැනි දින සම්මත වීමෙන් පසුද සමාජය තුළ සාවද්‍ය මත කාවද්දන ලදී. හානිපූරණය සඳහා වන කාර්යාලය සම්මත වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ආයුධයක් ලෙස භාවිත කරන ලදී. මෙහිදී යහපාලනය සිංහල විරෝධී රජයක් ලෙස ඉස්මතු කිරීමටද ඇතැම් අවස්ථාවක එල්.ටී.ටී.ඊ.යට මූල්‍යමය ආධාර ලබාදෙන රජයක් ලෙස දැක්වීමටද හානිපූරණය සඳහා වන කාර්යාලය සම්මත වීම යොදා ගැනුණි. ඔවුන් විසින් හානිපූරණය සඳහා වන කාර්යාලය රජයට විරුද්ධව සටන් කළ එල්.ටී.ටී.ඊ.යට ආධාර ලබාදෙන්නට සැකසුණ කාර්යාලයක් ලෙස විශාල මතවාදයක් නිර්මාණය කරන ලදී.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිතුමන් වන මහින්ද රාජපක්‍ෂ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ වාර්තාව පිළිගත් අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් පුනරුත්ථාපනය කොට නැවැත සාමාන්‍ය සමාජ ජීවිතයක් ගත කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් දියත් කරන ලදී. මෙහිදී පැනනැඟෙන ගැටලුව නම් ඒ සම්බන්ධව කිසිම විවාදයක් නොවන්නත් හානිපූරණය පමණක් ඉතා විවේචනයට ලක් වීමට හේතුව කුමක්ද යන්නයි.
මීට අමතරව පුනරුත්ථාපන ජනරාල් කොමිෂන් කාර්යාලය හිටපු ජනාධිපතිතුමන් වන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ පිහිටුවන ලදී. එහි දක්වන ආකාරයට;

'ශ්‍රී ලංකාවේ නොයෙක් පැති ආවරණය වූ සහ නොයෙකුත් ආයතන සම්බන්ධ වූ පුනරුත්ථාපන වැඩසටහන් ආරම්භ වූවේ හරිආකාරව, රාජ්‍යය වෙත යටත් වූ 12,000ක්වූ එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් සඳහා ඔවුන්ගේ ආරක්‍ෂාව අරමුණු කරගෙනයි. ශ්‍රී ලංකා රජය ඔවුන් පිළිගැනීමට සූදානම් හා ඔවුන් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා ගන්නා බවට 2006 සැප්තැම්බර් 12 වැනි දින නො 1462/8 වූ ගැසට් ප්‍රකාශයෙන්'.

කෙසේ වෙතත්, හානිපූරණය සඳහා වන පනත එල්.ටී.ටී.ඊ. හානිපූරණය ලබා ගැනීම නිශ්චිත ලෙස ඇතුළත් කර හෝ නොකර නැත. එම කරුණ එම කාර්යාලය ප්‍රතිපත්ති සහ කැබිනට් එකඟතාව මත තීරණය වේ.

සාරාංශ වශයෙන්, ලංකාව වගකීම් දරා ඇති සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමය තම පුරවැසියන්ගේ සුබසිද්ධිය උදෙසා මිස ජාත්‍යන්තර ප්‍රජාව උදෙසා හෝ කිසිම ජන කොට්ඨාසයකගේ සුබසිද්ධිය තකා ක්‍රියාත්මක නොවේ.

ලංකාව තුළ වන සෑම ජන සමාජයක්ම යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ කෝලාහලවලට මුහුණපා ඇත. මෙම සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය තුළ මෙම වින්දිතයන්ගේ වේදනාවන් සුවපත් කිරීම අරමුණු කරගෙන ඇත. එම පීඩාවට පත්වූ පුද්ගලයා හෝ පුද්ගලයන් එක් ජන කොටසකට සීමා කිරීම තුළ ජනවාර්ගික අර්බුදවලට මංපෙත් විවර කරවයි. සියල්ලන්ම සම අයිතීන් ඇති පුරවැසියන් ලෙස සැලකිය යුතුය. කිසිවකු තම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සංක්‍රාන්තික යුක්තිය මෙවලමක් කර නොගත යුතුය. එය රටේ ජනවාර්ගික අර්බුද උග්‍ර වීමට බලපාන අතරම සාමය තර්ජනයට ලක්වේ. එමඟින් රටේ දියුණුව සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකිය.

විමල් ආරියවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon