ජනාධිපතිගේ වේදිකාවේ සිටින ක්‍රිකට් දූෂිතයන් බිමට බැස්සවිය යුතුයි

  👤  2681 readers have read this article !
By mawbima 2019-02-12

උපතිස්ස පෙරේරා

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ දූෂිත පුද්ගලයන් ජනාධිපතිතුමාගේ වේදිකාවෙන් බිමට බැස්සවීමට කාලය එළැඹී ඇතැයිද, මේ වසර ක්‍රිකට් ක්‍රීඩාව නිවැරැදි දිසාවට යොමු කිරීමේ වසරක් සේ සලකා ක්‍රියා කළ යුතුව ඇතැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරයි.

ගම්පහදී පසුගියදා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.


'අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වගේ. එය විනාශය කරා යොමු වූයේ 2015 වසරේ පටන්. ඒ පිළිබඳව ක්‍රීඩකයන්ට පමණක් ‍ෙදාස් පවරා හරියන්නේ නැහැ. ඒ ගැන ක්‍රිකට් පරිපාලනයට පැමිණි නුසුදුසු පුද්ගලයනුත් වගකියන්න ඕන. ඒ බව මම 2015 සිටම කිව්වා.

නමුත් කිසිම කෙනෙක් ඒවා ගානකටවත් ගත්තේ නැහැ. 2015න් පසුව පැමිණි දයාසිරි ජයසේකර සහ ෆයිසර් මුස්තාපා යන ඇමැතිවරුන් දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ ඇමැතිවරු දෙන්නාම අනවශ්‍ය පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලනයට ඇතුළුවෙන්න ඉඩ දුන්නා.

ඒ නුසුදුසු පුද්ගලයෝ තමයි දූෂිත පරිපාලනයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට ගෙන ගියේ.

එයින් ඇති වුණ විනාශය මේ වන විට ජනාධිපතිතුමාටත් වටහා ගැනීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා. නමුත් ඒ පුද්ගලයෝම තමයි අදත් ජනාධිපතිතුමාගේ වේදිකාවේ ඉන්නේ. ඒ පුද්ගලයන්ව දැන් වේදිකාවෙන් බිමට බස්සවන්න ජනාධිපතිතුමාට හරි කාලය එළැඹී තිබෙනවා.

මම ජනාධිපතිතුමාට උපදේශයක් දෙනවා නෙවෙයි. නමුත් එවැනි දූෂිත පුද්ගලයන් තමන්ට සමීප තැන්වල තබාගත් විට මිනිසුන් අතර ජනාධිපතිතුමා කෙරෙහි තබාගෙන ඇති විශ්වාසය පිරිහෙන්නට පුළුවන්.
ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා නායකත්වය අරගෙන ලෝක ශූරතාව මෙරටට ගෙන ආවා. අද වෙලා තියෙන්නේ මොකක්ද. ලෝක ශූරතාව ගත් ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ දූෂිතම රට බවට පත්වෙලා තියෙනවා.

තරග පරාජය කිරීම් කණ්ඩායමේම සාමාජිකයන් විසින් කිරීම බරපතළ තත්ත්වයක්' යන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ 'මම දන්න ආකාරයට ජනාධිපතිතුමා හරි වෙලාවට තීරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති. නමුත් ජනාධිපතිතුමා ඉක්මනින්ම තීරණයක් ගනීවි.

ඒ වගේම දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රීඩා ඇමැතිවරයෙක්. හරින් ප්‍රනාන්දු මහතා. එතුමාත් හරි තීරණ ගන්න කෙනෙක්.
අනිවාර්යයෙන්ම ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් පසුව අපට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරැදි මාර්ගයට ගන්න පුළුවන් වේවි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon