දියවන්නාවේ අඳ-ගොළු-බීරන්ට රට දෙකඩ කරන්න ඉඩ දෙන්නේ නෑ

  👤  2538 readers have read this article !
By mawbima 2019-02-12

මහනුවර - නදීක දයා බණ්ඩාර

බලලෝභීත්වයෙන් යුතු දේශපාලන අධිකාරිය, සිය අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා මහා සංඝරත්නය පවා බිල්ලට ලබාදෙන තත්ත්වයකට අද රට පත්ව ඇතැයි ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සාසනරතන හිමියෝ පැවැසූහ.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අස්සන් ලක්‍ෂ දහයක් ලබා ගැනීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගියදා (09දා) මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අබියසදී ආරම්භ විය. දිවයිනේ සෑම නගරයක්ම නියෝජනය වන පරිදි ලබා ගන්නා අස්සන් ලක්‍ෂ දහයක් සහිත පෙත්සම ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සාසනරතන හිමියෝ පැවැසූහ.

අධිකරණයට ගරු කරන බවත්, නීතිය ඉහළින්ම පිළිගන්නා බවත් කී පූජ්‍ය ලියන්වල සාසනරතන හිමියෝ මෙසේ පැවැසූහ.

මේ රට නිදහස් කර ගත්තේ රණවිරු තරුණ තරුණියන් විසිහත් දහසක පමණ ප්‍රමාණයක් සිය ජීවිත රණබිම වෙනුවෙන් පූජා කරමින්. යුද්ධය හේතුවෙන් පුද්ගලයන් දාහතර දහසක් පමණ ආබාධිත තත්ත්වයට පත්වුණා.
එවැනි තත්ත්වයක් යටතේ සිරගත කරන්න යන රණවිරුවන් වෙනුවෙනුයි බොදුබල සේනා මහ ලේකම් හිමියන් මැදිහත්වී කටයුතු කළේ.

උන්වහන්සේගේ අභිමතාර්ථය මෙරට පමණක් නොව සමස්ත ලෝකයම දන්නවා. නමුත් දේශපාලන බල අධිකාරිය ඔවුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා මහා සංඝරත්නය වුවද බිල්ලට දීමටයි සූදානම්ව සිටින්නේ.
අපි මේ කටයුත්ත සිදු කරන්නේ රට ජාතිය බේරාගත් රණවිරුවන් වෙනුවෙන් මිස දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් ඉදිරිපත්වීමට නොවේ.

එපමණක් නොව ජාතික ව්‍යාපාර නායකයන්ද අද බිලිබාන තත්ත්වයක් දකින්න තිබෙනවා. නමුත් අපි ජනතාවට කියන්නේ රට, ජාතිය, ආගම පිළිබඳ කල්පනා කරමින් කටයුතු කරන්න කියලා. මේ රට ශිෂ්ට සම්පන්න සංස්කෘතියක්, ශිෂ්ටාචාරයකින් යුක්ත රටක්.

නමුත් පාලකයන්ට අවශ්‍ය පරිදි මේ රට කැබැලිවලට කඩා වෙන් කිරීමට ඉඩදිය යුතු නැහැ. ඒ අරමුණු වෙනුවෙනුයි අපි ක්‍රියාත්මක වන්නේ.

දියවන්නාවෙ ඉන්න අඳ, ගොළු, බිහිරන්ට මේ රට දෙකඩ කිරීමට ඉඩ දෙන්නේ නෑ. රට දැය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් දිගින් දිගටම පෙරමුණ ගන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon