අගුවේරෝගේ ගෝල ත්‍රිත්වයෙන්

  👤  2526 readers have read this article !
By mawbima 2019-02-12

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පසුගියදා (10දා) පැවැති තරගයකදී චෙල්සි කණ්ඩායමට එරෙහිව ගෝල 6-0ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලිවර්පූල් කණ්ඩායම අභිභවා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

මැන්චෙස්ටර්, එතිහැඩ් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ 13 වැනි, 19 වැනි සහ 56 වැනි විනාඩිවලදී මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ සර්ජියෝ අගුවේරෝ ගෝල ත්‍රිත්වයක් වාර්තා කළේය. එම ගෝල ත්‍රිත්වයත් සමඟ ඔහු එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ත්‍රිත්ව ගණනක් ලබාගෙන ඇති ක්‍රීඩකයාගේ වාර්තාව සම කරන්නටද සමත් විය. ඒ අනුව ගෝල ත්‍රිත්ව 11ක් ලබාගෙන ඇති සර්ජියෝට පෙර ඇලන් ෂියෙරර් එම වාර්තාවට හිමිකම් කීවේය. සර්ජියෝ මෙම ගෝල ත්‍රිත්ව 11ම ලබාගෙන ඇත්තේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරමින් වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් එම තරගයේදී රහීම් ස්ටර්ලින් ගෝල ද්විත්වයක් (4 වැනි හා 80 වැනි විනාඩිවලදී) වාර්තා කළ අතර ඉල්කයි ගුන්ඩොගන් (25 වැනි විනාඩියේදී) තවත් ගෝලයක් වාර්තා කළේය. මැන්චෙස්ටර් සිටි හා ලිවර්පූල් යන කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සමාන වුවත් ප්‍රතිවාදීන්ට ලබාදී ඇති ගෝල වෙනස අනුව මැන්චෙස්ටර් සිටි පෙරමුණ ගෙන ඇති අතර, ටොටෙන්හැම් හොට්ස්පර්, මැන්චෙස්ටර් යුනයිටඩ් යන කණ්ඩායම් පිළිවෙළින් තෙවැනි හා සිවුවැනි ස්ථානවල පසුවෙයි. තවද මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලබාගෙන ඇති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සර්ජියෝ අගුවේරෝ සහ ලිවර්පූල් ක්‍රීඩක මොහොමඩ් සලා පෙරමුණේ පසුවෙන අතර ඔවුන් දෙදෙනාම ගෝල 17 බැගින් ලබාගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon