සී.එච්. අපරාජිතව ඉදිරියටම යයි

  👤  2533 readers have read this article !
By mawbima 2019-02-12

'ඩයලොග්' අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය අවසානයේදීත් වැඩි ගෞරව හිමිකරගන්නට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත්වී ඇත්තේ මෙම තරග වටයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වෙමිනි.

පසුගිය සති අන්තයේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති සී.එච්. ඇන්ඩ් එෆ්.සී-හැව්ලොක්ස් තරගයෙන් ලකුණු 40-33ක විශිෂ්ට ජයක් වාර්තා කරන්නට සී.එච්. ක්‍රීඩකයන් සමත් වූ අතර සී.එච්. ක්‍රීඩකයන් එහිදී ගෝල දිනුම් 3ක්, උත්සාහක දිනුම් 2ක් හා දඬුවම් පහර 3ක් සාර්ථක කරගැනීමට සමත් විය. හැව්ලොක්ස් පිලට ලබාගැනීමට හැකිවූයේ ගෝල දිනුම් 4ක් හා එක් උත්සාහක දිනුමක් පමණි.

මේ අතර වැලිසරදී පැවැති ශ්‍රී ලංකා ගුවන් හමුදා-නාවික හමුදා තරගයෙන් ලකුණු 18-17ක තියුණු ජයක් නාවික හමුදා කණ්ඩායමට හිමි විය. නාවිකයන් වෙනුවෙන් උත්සාහක දිනුම් 3ක් හා දඬුවම් පහරක් වාර්තා වෙද්දී ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක්, දඬුවම් පහර 3ක් සහ ඩේ‍රාප් ගෝලයක් සටහන් විය.

කෙසේ වෙතත් මෙවර තරග සතිය ආරම්භ කරමින් ලොන්ඩන් පෙදෙසේදී පැවැති සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.-මහනුවර තරගයෙන් ලකුණු 31-26ක ජයක් වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් ගෝල දිනුම් 4ක් හා එක් දඬුවම් පහරක් වාර්තා වූ අතර සී.ආර්. පිලට සාර්ථක කරගැනීමට හැකි වූයේ ගෝල දිනුම් 2ක් හා දඬුවම් පහර 4ක් පමණි.

තවද රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා යුද හමුදා-ශ්‍රී ලංකා පොලිස් තරගයේදී යුද හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුම් 2ක් හා උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර පොලිස් ක්‍රීඩකයන්ද ගෝල දිනුම් 2ක් හා උත්සාහක දිනුම් 2ක් වාර්තා කිරීම හේතුවෙන් තරගය ලකුණු සම වී (24-24) නිමාවට පත්විය. මෙවර 'ඩයලොග්'අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙපිලම ලකුණු සමවූ දෙවැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
ඡායාරූපය-කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon