නුසුදුස්සෝ ඇතුළේ අපි එළියේ

  👤  2557 readers have read this article !
By mawbima 2019-02-12

ගමිත දෙහිපිටිය

තතවත් දින 9කින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් වී සිටින මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල අභියාචනා කමිටුව විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙයට පෙර නිලවරණය කමිටුව විසින් තමන්ගේ හා රවීන්ගේ නාමයෝජනා පිළිගන්නා ලද නමුත් එයට එරෙහිව වූ අභියාචනා කමිටුව වෙනස් තීරණයක් ලබා දීම සම්බන්ධයෙන් ඊයේ (11දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මොහාන් ද සිල්වා මහතා පැවැසුවේ මෙම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව නිල වශයෙන් තමන් වෙත තවමත් දැනුම් දීමක් සිදුකර නොමැති බවය.

ඒ අනුව මෙවර නිලවරණයේ සභාපති තනතුර, උප සභාපති තනතුරක් හා ලේකම් තනතුරක් සඳහා ඉදිරිපත් වී සිටි මොහාන් ද සිල්වා මහතා පැවැසුවේ තම නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් තමන් විමතියට පත් වන බවත් මෙම අසාධාරණ තීරණයට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට අපේක්ෂා කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා "මගේ සහ රවීන් වික්‍රමරත්න මහතාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලද බව මාධ්‍ය මඟින් පසුගියදා අපට දැනගන්නට ලැබුණා. නමුත් අද වෙනතුරු අපගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීමට හේතු දැක්වීමක් නිල වශයෙන් සිදු කර නැහැ. ක්‍රීඩා නීතියට අනුව නාම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම සිදු කළහොත් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා එම පාර්ශ්වය නිල වශයෙන් ලිඛිතව දැනුවත් කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක්. ඒ වගේම කිසිම ආකාරයක චෝදනා පත්‍රයක් අප වෙත ඉදිරිපත් කර නැති බවත් මම කියන්නට කැමතියි.

නමුත් මීට සති දෙකකට පෙර සිටම අපගේ ප්‍රතිවාදී පාර්ශ්වය විසින් සිදු කරන ලද යම් යම් ක්‍රියාකාරකම්වලින් ඔවුන්ගේ සැලසුම වී තිබුණේ කුමක්ද කියලා අප දැන ගත්තා. කෙසේ නමුත් සුදුසුකම් කිසිවක් සපුරා නැති කෙනෙක් කොහොමද නිලවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුස්සෙක් වීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුකූලව සියලුම සුදුසුකම් සපුරා ඇති මගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීම සම්බන්ධවත් අප මවිතයට පත් වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් මට විශාල විශ්වාසයක් තිබෙනවා. එම නිසා මෙම අසාධාරණ සිදුවීම් ගැන අධිකරණයට දන්වල අධිකරණයේ පිහිට ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් මේක විශාල කුමන්ත්‍රණයක් වශයෙන් තමයි අපි දකින්නේ. ඡන්දයට මුහුණදීල ජයගන්න බැරුව හැමදාම පිටුපස ‍ෙදාරෙන් එන අය තමයි මේ වගේ කුමන්ත්‍රණ කරන්නේ." යනුවෙන් ප්‍රකාශ කළේය.

තවද මූලික කරුණු 3ක් යටතේ අධිකරණයට කරුණු දැක්වීමට තම පාර්ශ්වය සූදානමින් සිටින බවද පැවැසූ මොහාන් ද සිල්වා මහතා "අපි කරුණු 3ක් යටතේ අධිකරණයේ පිහිට පැතීමටත් අධිකරණයට කරුණු දැක්වීමටත් බලාපොරොත්තු වෙනවා. පළමුවැනි කරුණ තමයි ක්‍රීඩාවට සිදු වන හානිය වළක්වා ගැනීම. දෙවැන්න මෙම සිදුවීම මඟින් මගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවී තිබෙන නිසා මගේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට අධිකරණයේ පිහිට පැතීමට මට සිදුවෙලා තිබෙනවා. තුන්වැනි කරුණ තමයි මෙම සිදුවීමෙන් මගේ කණ්ඩායමට සිදු වෙලා තිබෙන අගතිය සම්බන්ධයෙනුත් අධිකරණයේ පිහිට පතන්නටත් අපට සිදු වෙලා තිබෙනවා." යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මේ අතර මොහාන් ද සිල්වා පාර්ශ්වය නියෝජනය කරමින් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති, උප ලේකම් හා භාණ්ඩාගාරික තනතුරක් සඳහා ඉදිරිපත් වී සිටි රවීන් වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම ක්‍රියාවලිය තුළ වැරැදි කිහිපයක් සිදු කර ඇති බවත් නිලවරණ ක්‍රියාවලිය තුළ අවස්ථා කිහිපයකදීම ක්‍රීඩා නීතිය පවා උල්ලංඝනය කිරීමද සිදුවූ බවයි. තවද තම පාර්ශ්වයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක තමන් කැඳවා කරුණු විමසීමක් සිදු නොවූ බවද වික්‍රමරත්න මහතා කියා සිටියේය. එසේ තම පාර්ශ්වයට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදෙමින් තමන් වරදකරුවකු බවට තීරණය කිරීම මඟින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවද එම කරුණ සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද රවීන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.
මෙම අවස්ථාව සඳහා ශම්මි සිල්වා, බන්දුල දිසානායක, යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

ඡායාරූපය - සජීව චින්තක කහඳගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon