පරිසර සමුළුව 14දා අනුරාධපුරයේදී

  👤  2533 readers have read this article !
By mawbima 2019-02-12

උදයන්ති මුණසිංහ

තිරසර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් පවත්වනු ලබන "පරිසර සමුළුව" එළැඹෙන 14දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (11දා) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති අතර එහිදී අදහස් දැක්වූ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පැවැසුවේ අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීමට ජනාධිපතිවරයා කැපවීමෙන් කටයුතු කරන බවයි.

ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් වීම, ජනතාවගේ ජීවන ක්‍රමය වෙනස්වීම, ජනගහනය හා මානව අවශ්‍යතා ඉහළ යෑම වැනි කරුණු හේතුවෙන් ඇතිවන පාරිසරික ගැටලු අවම කරමින් ස්වාභාවික සම්පත් ආරක්ෂා කර තිරසර පරිසරයක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ වේ.

පරිසර දූෂණය පාලනය කිරීම, වන සංරක්ෂණය හා සංවර්ධනය, තිරසර ඉඩම් කළමනාකරණය, වන සත්ත්ව හා මිනිස් සහජීවනය, ජෛව සම්පත් සංරක්ෂණය, පරිසර සංරක්ෂණය සඳහා ඒකීය ආයතනයක් පිහිටුවීම යන ඒවා මෙහි ප්‍රධාන අරමුණු වේ.

මෙහිදී ඒ ඒ ක්ෂේත්‍ර යටතේ හඳුනාගන්නා ලද වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර පරිසර සංරක්ෂණ ජනාධිපති කාර්ය සාධක බළකාය මේ සඳහා අවශ්‍ය මෙහෙයවීම සිදුකරනු ලබයි.
වසරකට මෙවැනි සමුළු 7ක් පමණ ඒ ඒ පළාත් ආවරණය වන පරිදි පවත්වන බවත්, පරිසර ප්‍රශ්න එක් එක් පළාත් සභා දිස්ත්‍රික්කවලට වෙනස් බැවින්, එම පරිසර ගැටලු හඳුනාගෙන ඒවාට පිළිතුරු දීම සඳහා ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කරන බවද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසුවේය.

මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, ජනාධිපති අතිරේක ලේකම් සරත්චන්ද්‍රසිරි විතාන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon