පාසල්වල මුදල් අය කරනවාට මම දැඩි සේ විරුද්ධයි

  👤  2550 readers have read this article !
By mawbima 2019-02-12

ජේ.ටී. ද සිල්වා

පාසල්වල නඩත්තු කටයුතු සඳහා හෝ වෙනත් කටයුතු සඳහා මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විරුද්ධ බවත් තමාගේ ස්ථාවරය එලෙසින්ම පවතින බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.

දරුවන්ගෙන් මුදල් එක්රැස් කරන්නේ නම්, ඒ පහසුකම් හා සේවා ගාස්තුවලට ප්‍රමුඛතාව ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලින් ලබාගත් මූලික අනුමැතිය යටතේ සිදුවිය යුතු බව තම ස්ථාවරය යැයි අධ්‍යාපන වෘත්තීය සංගම් කිහිපයක් හා අදාළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ හමුවකදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

යම් ආකාරයකින් පාසල්වලට මුදල් එක්රැස් කරනු ලබන්නේ නම් හෝ පාසල්වල නඩත්තු කටයුතු සඳහා පරිත්‍යාග ලබාගන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේද යෝජනා කරන ලෙස ඇමැතිවරයා වෘත්තීය සමිති සාමාජිකයන් වෙත දැනුම්දෙනු ලැබීය.

එමෙන්ම 26/2018 චක්‍රලේඛය අවලංගු කිරීම හේතුවෙන් පාසල්වල වෙනත් අංශයන්ට සිදුවන බලපෑම හා සෙසු කරුණු සැලකිල්ලට ගනු ලැබූ ඇමැතිවරයා, අවලංගු කෙරුණු චක්‍රලේඛය වෙනුවට සුදුසු ප්‍රශස්ත මට්ටමේ චක්‍රලේඛයක් සකස් කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ලබාදෙන ලෙස උපදෙස් දුන්නේය.

අදාළ චක්‍රලේඛය පිළියෙල කිරීම සඳහා ඇමැතිවරයා විසින් කමිටුවක්ද පත්කරනු ලැබීය.

අඩුපාඩුවලින් තොර, ප්‍රශස්ත මට්ටමේ චක්‍රලේඛයක් සකස් කිරීම සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකොට, ලංකා ගුරු සේවා සංගමය පාසල් ප්‍රජාව නොමඟ යවමින් අසත්‍ය ප්‍රවෘත්ති සමාජගත කරමින් සිටින අයුරු දක්නට ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරන මෙම කණ්ඩායම විසින් සිදුකළ යුතුව ඇත්තේ ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පවතින ක්‍රමවේදය වෙනුවට තමා සතුව ඇති ප්‍රශස්ත ක්‍රමවේදයන් අදාළ කමිටුව වෙත ඉදිරිපත් කොට, ශක්තිමත්ව චක්‍රලේඛයක් සකස් කිරීමට දායකවීම යැයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon