විශ්‍රාමික ගුරුවරු යළි ගැනීමට අධ්‍යාපන ඇමැතිගේ යෝජනාව පදනම් විරහිතයි

  👤  2543 readers have read this article !
By mawbima 2019-02-12

උදයන්ති මුණසිංහ

දුෂ්කර පාසල්වල ගුරු හිඟයට විසඳුමක් ලෙස විශ්‍රාමික ගුරුවරු යළි සේවයට එක්කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා සිදු කළ යෝජනාව පදනම් විරහිත බව ලංකා ගුරු සංගමය පවසයි.

මෙරට ගුරු සිසු අනුපාතය 20:1ක මට්ටමේ පැවැතියද දුෂ්කර ප්‍රදේශවල ගුරු හිඟයට හේතු වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නවක ගුරුවරු ස්ථානගත කිරීමේදී අවිධිමත්ව දේශපාලන මැදිහත්වීම් මත ජනප්‍රිය හා පහසු පාසල්වලට අතිරික්තයක් වන පරිදි ගුරුවරු ස්ථාන ගත කිරීම නිසා බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

2018 වසරේ ජනවාරි මාසයේ බඳවා ගන්නා ලද විද්‍යාපීඨ ගුරුවරු 2364න් 1272ක් ස්ථාන ගත කරන ලද්දේ ජාතික පාසල්වල බවත් දුෂ්කර ප්‍රදේශවල විශාල ගුරු හිඟයක් පවතිද්දී එම බඳවා ගත් ගුරුවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල්වලට සහ මහනුවර, ගාල්ල වැනි ප්‍රදේශවල ප්‍රධාන පෙළේ ජාතික පාසල්වලට ස්ථානගත කළ බවටත් හෙතෙම චෝදනා කළේය.

මේ වන විට 2016, 2017 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මේ දක්වා විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම ප්‍රමාද වීමද පළාත් සභා විසින් බඳවා ගන්නා උපාධිධාරී ගුරුවරුන් එම පළාත් සභා විසින් විධිමත්ව ගුරු පුරප්පාඩු පවතිවන පාසල්වල ස්ථානගත නොකර රේඛීය අමාත්‍යාංශය කළ පරිදිම පහසු හා ජනප්‍රිය පාසල්වල ස්ථානගත කිරීමද දුෂ්කර පාසල්වල ගුරු හිඟයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය මත අධ්‍යාපන අමාත්‍යවරයා කළ යුත්තේ විශ්‍රාමික ගුරුවරු බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකා යොමු කිරීම නොව විධිමත්ව ගරුවරු ස්ථානගත කිරීමේ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම සහ නියමිත කාලයට විද්‍යාපීඨ ගුරුවරු බඳවා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම බවත් ඔහු අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon