උතුරේ වැසියෙක් පාපැදියකින් ලංකාව වටා ගමන් අරඹයි

  👤  2537 readers have read this article !
By mawbima 2019-02-12

අනුරාධපුර - මහේෂ් විජේසූරිය වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වතු සේවයේ යෙදෙන කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස මෙන්ම ඔවුන්ගේ සනීපාරක්‍ෂක

කටයුතු වැඩිදියුණු කරන ලෙස ඉල්ලා කිලෝමීටර් 2125ක දුර ප්‍රමාණයක් ලංකාව වටා ස්ටෑන්ඩඩ් වර්ගයේ පාපැදියෙන් ගමන් කිරීමට අපේක්‍ෂා කරන පුද්ගලයකු සිය ගමන් මඟේ දෙවැනි දිනය ඊයේ (11දා) අනුරාධපුර නගරයෙන් ආරම්භ කළේය.

මන්නාරම් පාර වවුනියාව ලිපිනයේ පදිංචි ධර්මලිංගම් පිරතාපන්ගේ (45) නමැති අවිවාහක පුද්ගලයකු මෙසේ පාපැදියෙන් ගමන් ආරම්භ කළේය. සහෝදර වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් පාපැදියෙන් දුෂ්කර ගමන දෙවැනි දිනට අරඹන අතර වාරයේදී අදහස් දැක්වූ ධර්මලිංගම් පිරතාපන්ගේ මහතා මෙසේ කීය.

මම වවුනියාව නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරත වන පුද්ගලයෙක්. සහෝදර වතුකම්කරුවන් ඉල්ලා සිටින දවසේ වැටුප වන රුපියල් 1,000 කරන්න කියලා ඉල්ලලා තමයි මම ගමන ආරම්භ කළේ. අපි හැමෝම ජීවත් වෙන්න ඕන. වර්තමානයේ බඩු මිල වැඩි නිසා රුපියල් 1,000කින් තනි මනුස්සයකුටවත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.

වතු කම්කරුවන් ජීවත් වෙන්නේ කඳුකරයේ ලයිම් කාමරවල. කාමර තහඩුවලින් තමයි හදලා තියෙන්නේ. වැස්සෙන්, පින්නෙන් හා සීතලෙන් ජීවත් වෙන මේ අයට සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් උදාකර දිය යුතුයි. මේ අයට වෙන වෙනම නිවාස හදලා දෙන්න කියලා නිවාස ඇමැතිතුමාගෙන් හා ජනාධිපතිතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

අපේ ආර්ථිකයේ කොඳු නාරටිය වගේ සිටින්නේ මේ කම්කරුවන්. ලංකාවේ තේ කොළ තමයි ලෝකයේ හොඳම රස තියෙන තේ. මේ අයගේ දහදිය, මහන්සියෙන් ලැබෙන එම තේ කොළ රසවත් වුවත් මේ අයගේ ජීවිත කතාව තිත්තයි යනුවෙන් ඔහු පැවැසුවේය. පෙරේදා (10දා) වවුනියාවෙන් ගමන් ආරම්භ කළ ඔහු කිලෝමීටර් 2125ක දුර ප්‍රමාණයක් දිස්ත්‍රික් 25ක් ගමන් කර මාර්තු මස 13 වැනිදා නුවරඑළියෙන් ගමන් අවසන් කරන්න බලාපොරොත්තු වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon