පානදුර රෝහල ඉදිරිපිට ඇති ත්‍රිරෝද රථගාල ඉවත් කිරීමට යයි

  👤  2557 readers have read this article !
By mawbima 2019-02-12

පොතුපිටිය - සුමිත් රණවක

පානදුර රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලය සහ රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථ රියැදුරන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් දුරදිග යෑම හේතුවෙන් රෝහල ඉදිරිපිට ඇති ත්‍රිරෝද රථ ගාල ඉවත් කිරීමට කටයුතු කරන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය අයි. රත්නායක මහතා පැවැසීය.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඇති වී තිබෙන ගැටලු සහගත තත්ත්වය නිරවුල් කරදෙන ලෙස ත්‍රිරෝද රථ රියැදුරන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊයේ (11දා) පස්වරුවේ පානදුර රෝහලේ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරයි.

ගැටලුකාරී තත්ත්වය ඇතිවීමට මූලික වූයේ පානදුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අසූ හැවිරිදි සිවුදරු පියකු අල්ලා රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක් තිබූ කුඩා කාමරයකට දැමීම හේතුවෙනි.


මෙම සිද්ධියට මුහුණ දුන් මතුගම, පාන්තිය, පාල්ගොඩ හංදිය ප්‍රදේශයේ පදිංචි වයි. ධර්මසේන යන අය ඊයේ (11දා) පස්වරු වන විටත් පානදුර පෞද්ගලික බස්නැවතුම්පළේ බංකුවක් මත නිදා සිටිනු දැක ගත හැකි විය.
මුහුණ දුන් අත්දැකීම පිළිබඳ අදහස් දැක්වූ වයි. ධර්මසේන මහතා

මගේ බිරිය මියගිහින්. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අය මගේ දේපළ ලියාගෙන මාව ‍ෙදාරට දැම්මා. මම ප්‍රතිකාර ගන්නයි පානදුර රෝහලට ආවේ. රෝහලේදී අයෙක් මාව බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මා. මම හිතන්නේ සිකියුරිටි කෙනෙක් වෙන්න ඇති. දැන් මට යන්න තැනක් නෑ. මාව දැන් මහලු නිවාසයකට ගෙනියනවා කියලා මහත්තයෙක් ඇවිත් කිව්වා. ඔහු එනකං මම බලන් ඉන්නවා.
සාකච්ඡාවේදී අදහස් දැක්වූ පානදුර රෝහලේ අධ්‍යක්ෂ පියල් සමරවීර මහතා

ඊයේ (10දා) ඇතිවූ තත්ත්වය හේතුවෙන් රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය ත්‍රිරෝද රථගාල ඉවත්කර දෙන්නැයි අස්සන් සහිතව මා වෙතින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථ නතර කිරීම හේතුවෙන් රෝහලේ කටයුතුවලට බාධාවක් වෙනවා. ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමටයි මේ සාකච්ඡාව සංවිධානය කළේ.

සාකච්ඡාවේදී අදහස් දැක්වූ රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මංගල ප්‍රනාන්දු මහතා
අපි අවුරුදු 22ක් තිස්සේ පානදුර රෝහල ඉදිරිපිට රථ ගාලේ ඉන්නවා. ඊයේ ඇති වූ සිද්ධියෙන් පසු රථගාල ඉවත් කරගන්නා ලෙස පොලිසිය අපිට දැනුම් දුන්නා. මේ නිසා පවුල් 14කට ආදායම් මාර්ගය අහිමි වෙනවා. අපිට රෝහල් කාර්ය මණ්ඩලයත් සමඟින් ගැටලුවක් නෑ. අපිට සාධාරණයක් ඉටුකර දෙන්න. රථ ගාල වෙනත් ස්ථානයකට ගෙන යන්නේ නම් රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රධාන ‍ෙදාරටුවෙන් බැහැර කරන්නේ නැතිව වෙනත් ‍ෙදාරටුවකින් බැහැර කරදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මෙහිදී පානදුර රෝහලේ කමිටු සභාපති ගලගොඩ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන් ප්‍රකාශ කළේ රෝහල ඉදිරිපිට කිසිම වාහනයක් නතර කිරීම මා අනුමත කරන්නේ නෑ. ත්‍රිරෝද රථ රියැදුරන් අන් අයට කරදරයක් නොවන පරිදි කටයුතු කිරීමයි සුදුසු වන්නේ. ගැටලු ඇති කරගන්න එපා. අපි හැමෝගෙම මහන්සියෙන් අද පානදුර රෝහල මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ත්‍රිරෝද රථ ගාල රෝහල ඉදිරිපිටින් ඉවත් කිරීමයි කළ යුත්තේ. අපි කාටත් අසනීප වුණාම යන්න තියෙන රෝහල අපි රැකගමු යනුවෙන් ප්‍රකාශ කළහ.

ඊයේ ඇතිවූ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නේ දැයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය අයි. රත්නායක මහතා
පරීක්ෂණයක් ආරම්භ කළා. මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදුනොවන්න කළුතර සියලු රෝහල් දැනුම්වත් කළා. මෙවැනි රෝගීන් ඉදිරියේදී ප්‍රතිකාර ලබාදීමෙන් පසු බණ්ඩාරගම හෝ ගෝනදුව රෝහල් වෙත මාරුකර යවා පසුව සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් මහලු නිවාසවලට යොමු කිරීමට පියවර ගන්නවායි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පානදුර රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරි හේමන්ත, වෛද්‍ය නිලධාරි නිරෝෂන්, සුළු සේවා පාලක අජන්ත සිල්වා යන මහත්වරුන්ද මෙහිදී අදහස් දක්වන ලදී.
සාකච්ඡාවට රෝහලේ සියලු කාර්ය මණ්ඩල නිලධාරීන්, ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් සහ පානදුර පොලිසිය සහභාගි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon