අපේ ආණ්ඩුවකින් 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ඉවත් කරනවා

  👤  2672 readers have read this article !
By mawbima 2019-02-12

රටේ අනිවාර්යයෙන්ම ජාතික මැතිවරණයකින් වෙනසක් වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිවන බවත් ඉන්දියාව දැඩිව විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

ඊයේ (11දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙසේද කීය.

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ වාර්ෂික සමුළුවක විශේෂ ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. මේ රටේ අනිවාර්යයෙන් ජාතික මැතිවරණයකින් වෙනසක් වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිවන බවත් ඔවුන් දැඩිව විශ්වාස කරනවා. අපි ඒ අයට කිව්වා අපේ එකම උත්සාහය බලය ලබා ගැනීම නොවන බව.

මේ ආණ්ඩුව අය - වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. රටට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. තව මාස අටකින් මැතිවරණයක් පැවැත්වෙන්න නියමිතයි. ඒ කාලය තුළ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් යමක් කරයි කියලා හිතන්න බැහැ. මේ ආණ්ඩුවට එකතු වුණු එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර එකඟතාවක් තිබුණා. දැන් මේ කණ්ඩායම් වෙන් වෙලයි තියෙන්නේ. එක්සත් ජාතික පෙරමුණේ තියෙන්නේ සුළුතර ආණ්ඩුවක්. ඒ නිසා මේ අයට දමිළ සන්ධානය මත යැපෙන්න සිදු වෙනවා. ජාතික රජයක් සෑදීමේ හාස්‍යජනක උත්සාහයක මොවුන් නිරත වුණා. ජනතාව ඒ උත්සාහය ප්‍රතික්ෂේප කරන නිසා නෙවෙයි, ඒ උත්සාහය අත් හැරියේ. ඒ සඳහා අවශ්‍ය ඡන්ද නැති වීම නිසයි.

පසුගිය අය - වැයෙන් දස ලක්ෂ දහතුන් දහසක් වියදම් කළාට කිසිදු වැඩක් වුණේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවේ වගකීම් කිසිවෙක් භාරගන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණක් වන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමයි. මේ සංශෝධනය ඉදිරිපත් කළේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණින්. නමුත් කථානායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යවස්ථා කමිටුව ඒ අරමුණ ඉටු කරන බව පේන්නේ නැහැ.

ජනාධිපතිතුමා ජේ‍යෂ්ඨ විනිසුරුවරයකුගේ නමක් යවනවා නම්, ඔහුට විරුද්ධව චෝදනාවක් එල්ල වෙලා නැති නම් ජනාධිපති වගකීමෙන් එවන නම ප්‍රතික්ෂේප කරන්න හේතු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වයට එය හානියක්.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන

එජාප ආණ්ඩුවෙන් අපි අහන්නේ පළාත් සභා ඡන්දය පවත්වන්න දැන් තියෙන බාධකය මොකක්ද කියලා. ජනාධිපතිතුමා පළාත් සභා ඡන්දයට ලෑස්තියි. පළාත් සභා විෂය තියෙන්නේ ආණ්ඩුව යටතේ. දින දෙකක් මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ නැතිව කල් දැම්මා. අපිට සමුපකාර ඡන්දයක් හරි දෙන්න. අපි ඒකටත් ආසයි. ඒ තරම් තෙරපීමෙන් මිනිස්සු ඉන්නේ.

මේ ආණ්ඩුව කපිතාන් කෙනෙක් නැති නැවක් වගේ. කැප්ටන් කෙනෙක් නැති වුණොත් හුළං හමන පැත්තට නැව යනවා. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්. ජීවන වියදම අහස උසට. එක දවසකට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය. ඊට පස්සේ අල්ලගත්තා සේන දළඹුවා. සේනා දළඹුවා එහෙට මෙහෙට පැන පැන ඉන්න කොට ඔන්න ආවා මාකඳුරේ මධුෂ්. දැන් දළඹුවා කොහෙද දන්නේ නැහැ. හෙට අනිද්දා වෙද්දී තව එකක් එයි. ආණ්ඩුව තමන්ගේ දෙයක් කරගෙන යනවා. ආණ්ඩුවක් කරන්න බැරි වුණාම අගමැතිවරු, ඇමැතිවරු අස් වෙනවා. මේ අයව ගෙනියන්න වෙන්නේ බල්ලෝ නාවන විදියට.

ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත කියනවා 20 ගේන්න බැරි නම් අපේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාලු. හොඳ යෝජනාවක්. රටට හොඳ දේ කරපු අය නම් ඉදිරිපත් කරන්න අපේක්ෂකයෙක්. ඒකෙන් බලාගන්න පුළුවන් තමන් එක්ක ඉන්න ජනතාව කොයි තරම්ද කියලා. ලංකාවේ වැඩිම ජනතාවක් කැමැත්ත පළ කරපු එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා පොහොට්ටුව එක්ක සන්ධාන ගත වෙන්න වෙනවා.
කා එක්ක සන්ධානගත වුණත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යතාවට හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon