මධුෂ් ලංකාවට ගේන්න බැරි මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වූ නිසයි

  👤  2676 readers have read this article !
By mawbima 2019-02-12

ප්‍රබල අපරාධ කල්ලි ප්‍රධානි මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන ඒමට නොහැකි වන්නේ ඔහු පිළිබඳ සිද්ධිය පුවත්පත් මඟින් ප්‍රචාරය කිරීම නිසා යැයි සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා සියලු කටයුතු සම්පාදනය කර තිබියදී කිසිවකු විසින් හෝ එම සිද්ධිය පුවත්පත් සඳහා ලබාදී තිබුණු නිසා එරට පොලිසිය ක්‍රියාත්මක වී ඔහු අත්අඩංගුවට ගත් බව මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ පසුගියදා පැවැති උත්සවයකදී හෙතෙම වැඩිදුරටත් කීය.

කේ.පී. ශ්‍රී ලංකාවට ගෙන ඒම සැලසුම් සහගතව සිදු කළ බවත් එය මෙරට පොලිසිය, විදේශීය පොලිසිය හෝ වෙනත් කිසිවකු නොදන්නා බව කී අමාත්‍යවරයා මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබුණේද කිසිවකු නොදන්නා උපක්‍රමශීලී ක්‍රමයකින් යැයිද ප්‍රකාශ කළේය.

මාකඳුරේ මධුෂ් සම්බන්ධ සිද්ධිය පුවත්පත්වල පළ වීමෙන් අනතුරුව එරට පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම නිසා මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමය වැළැක්වුණු බව කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
එදා කේ.පී. අත්අඩංගුවට ගත්තා නම් ලංකාවට ගේන්න පුළුවන්ද? බැහැ. ඉතින් පුවත්පත්වලට මම කියන්නේ ඕනෙ එකයි එපා එකයි හැම දෙයක්ම දානවා. රට ගැන හිතන්නේ නැහැ. මේක ලීක් වුණේ නැත්නම් අද මධුෂ් ලංකාවේ. මේක පුවත්වලට ගිය නිසා තමයි ඒ ක්‍රමය වැහුණේ.

අද කවුරුත් පළාත් සභා ඡන්දය පිළිබඳව කතා කරනවා. මුලින්ම පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු යැයි තරයේම කියා සිටියේ වෙන කවුරුත්වත් නොව එක්සත් ජාතික පක්‍ෂයේ අපියි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිව්වේ නව ක්‍රමයට මැතිවරණය තියමු කියලා. නමුත් සීමා නිර්ණය පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන්නේ සම්පූර්ණයෙන්ම නොවෙයි. එහි තියෙන්නේ ඒ භාගයයි. එවැනි තත්ත්වයක් යටතේ නව ක්‍රමයට පළාත් සභා මැතිවරණය තැබීමේ හැකියාවක් නැහැ.

නව ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු යැයි කියන පක්‍ෂයේ ඇමැතිවරයාද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙක්. ඡන්ද කල් දාන්න අපිට කිසිම වුවමනාවක් නැහැ. අපි ඉල්ලා සිටි ආකාරයට ඡන්දය පැවැත්වූවා නම් පළාත් සභා ඡන්දය මේ වන විට අවුරුද්දකට විතර කලින් අවසන් කරන්නත් තිබුණා.

මහනුවර - නදීක දයා බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon