සිල් මෑණියන්ට තර්ජනය කිරීමට යොදාගත් දුරකථන අංක පොලිසියට ලබා දෙන්නැයි දුරකථන සමාගම්වලට අධිකරණයෙන් නියෝග

  👤  2556 readers have read this article !
By mawbima 2019-02-12

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

හතළිස් තුන් හැවිරිදි සිල් මෑණියක රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින දෙවැනි සැකකාර රියැදුරා සිල් මෑණියන් මරන බවට තර්ජනය කිරීමට යොදා ගෙන ඇති දුරකථන අංක සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා නොපමාව පොලිසියට ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා සියලුම දුරකථන සමාගම්වල කළමනාකාරිත්වයට නියෝග කළේය.

මරන බවට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කළේය.

මේ පිළිබඳව අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය තවදුරටත් සඳහන් කළේ සැකකාර හිමිනම සහ රියැදුරා රංචු ගැසී බරපතළ ලෙස දූෂණ කිරීමෙන් පසුව සිල් මෑණියෝ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දෙවැනි සැකකාර රියැදුරා සිල් මෑණියන්ට දුරකථනයෙන් මරන බවට තර්ජනය කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. තමන්ට එරෙහිව පවතින පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙසත් එසේ පැමිණිල්ල ඉල්ලා අස්කර නොගන්නේ නම් මෑණියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවටත් බන්ධනාගාරයේ සිට ඇප ලබා එළියට පැමිණි පසු සිල්මෑණියන් මරා දමන බවටත් දෙවැනි සැකකාර රියැදුරා තර්ජනය කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිමිනම සහ හිමිනමගේ රියැදුරා මේ මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටිති. පෙර පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී දෙවැනි සැකකාර රියැදුරා හඳුනා ගැනීමට පැමිණිලිකාර සිල් මෑණියෝ සමත් වූවාය.

රිමාන්ඩ් භාරයට පත් කර සිටිනුයේ පදවිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතිත්වය උසුලන පොල්ගහවෙල පදිංචි 43 හැවිරිදි හිමිනමක සහ ඒ හිමිනමගේ රියැදුරා වන තලාව කොන්ගොල්ලෑව පදිංචිකරුවෙකි.
රිමාන්ඩ් භාරයේ සිටින මෙම සැකකාර හිමිනම පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ළමා අපයෝජන නඩුවකද විත්තිකරුවෙකි. මෙම සැකකරුවන් රංචු ගැසී බරපතළ ලෙස දූෂණය කළ බව කියන සිල් මෑණියන් රාගම මහ රෝහලේ කාන්තා විශේෂඥ අධිකරණ වෛද්‍ය අනුරුද්ධී එස්. එදිරිසිංහ මහත්මිය හමුවට වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කරනු ලැබ ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මුල් 'බී' වාර්තාව මඟින් සඳහන් කළේ පසුගිය ජනවාරි මස 16 වැනි දින සිල් මෑණියන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ පැවැති වෛද්‍ය සායනයකට පැමිණ ඇති බවයි. එම වෛද්‍ය සායනය අවසන් වී රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට යෑමේ අරමුණින් සිල් මෑණියන් අනුරාධපුර මාර්කට් පෙදෙසේ සිටි අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණ ඇති සැකකරුවන් සිල් මෑණියන් රුවන්වැලිසෑය අසලට ඇරලවන බව පවසා එම මෝටර් රථයේ නංවාගෙන ඇති බවද අධිකරණයට සැල කළ පොලිසිය පසුව අනුරාධපුර පූජා නගරයේ ථූපාරාමය ආසන්නයේ විශ්‍රාම ශාලාවකට රැගෙන ගොස් සැකකරුවන් බලහත්කාරයෙන් රංචු ගැසී වරින් වර සිල් මෑණියන් බරපතළ ලෙස බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවද කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon