මාධ්‍යවේදියකුට පහර දුන් දෙදෙනකුට මුදල් හා ශරීර ඇප

  👤  2535 readers have read this article !
By mawbima 2019-02-12

කුරුණෑගල - ජයන්ත දිසානායක

මාධ්‍යවේදී මොහොමඩ් ෆසල් මහතාට පහරදී කැමරා ආම්පන්නවලට අලාභහානි සිදුකොට රාජකාරියට බාධා කිරීම සම්බන්ධ සිද්ධියකට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 5000 බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.

කුරුණෑගල නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක සිදුවූ නීති විරෝධී කටයුත්තක් පිළිබඳ රූපවාහිනි නාළිකාවකට ලද තොරතුරක් අනුව මාධ්‍යවේදී ෆසල්ගේ සහෝදර මාධ්‍යවේදී සේනානායක මහතාද සමඟ අදාළ ආයතනයට ගියේ ආයතන ප්‍රධානි හමුවී තොරතුරු අනාවරණය කරගැනීමටය. අදාළ රූපවාහිනි නාළිකාවේ උපදෙස් මේ සඳහා ලැබී තිබුණු අතර ඒ අනුව මාධ්‍යවේදී මොහොමඩ් ෆසල් මහතා කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කර ඇත.

"අපි මාධ්‍ය හැඳුනුම්පත් පෙන්වා අවශ්‍ය අවසර ගත්තා. අවසර ලබාගෙන අපි ආයතන ප්‍රධානියා හමුවෙන්න ඔහුගේ නිල කාමරයට ගොස් සාකච්ඡා කළා. ටික වෙලාවකින් අදාළ ආයතනයේ සේවකයන් නොවන පිරිසක් පැමිණ අපට තර්ජනය කරන්න පටන් ගත්තා. එම පිරිසේ 50 දෙනකු පමණ සිටියා. සියලු දෙනා සේවාලාභීන් කියලා හඳුනා ගත්තා. ආයතන ප්‍රධානියා එම පිරිස නවත්වන්න කිසිම උත්සාහයක් ගත්තෙ නැහැ. නිල කාමරයට පැමිණි ඔවුන් මගේ රාජකාරියට බාධා කරමින් පහරදී කැමරා ආම්පන්නවලටත් හානි වන විදියට කාර්යාලයෙන් එළියට තල්ලු කර දැම්මා." ෆසල් මහතා පැවැසුවේය.

තමන්ගේ රාජකාරියට බාධා කළ තර්ජනය කළ දෙදෙනකු හඳුනාගැනීමට හැකි බවද කැමරා උපකරණවලට සිදුවී ඇති හානියේ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට වැඩි බවද මාධ්‍යවේදී ෆසල් කියයි. කුරුණෑගල, ජයන්තිපුර පදිංචි සහ කුරුණෑගල, බෞද්ධාලෝක මාවතේ පදිංචි පොලිසියට භාර වූ සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කළ පොලිසිය එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.

ඊළඟ නඩු දිනයේදී (ජුනි 14) අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සැකකරුවන්ට නියෝග කළේය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එච්.එන්. පුෂ්පලාල්, පොලිස් සැරයන් ප්‍රියදර්ශන (8002), පොලිස් සැරයන් හේරත් (5910), තෙන්නකෝන් (29478) පොලිස් කොස්තාපල් සමන්ත (58584) යන මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon