හය වැනි සැකකාරිය මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට නියෝග

  👤  2639 readers have read this article !
By mawbima 2019-02-12

බළපිටිය - දම්සරී ලියනගේ

කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට සැලසුම් කර වෙඩි ප්‍රහාර එල්ල කිරීමට අදාළ නඩුවේ හය වැනි සැකකාරිය මුදල් රුපියල් පනස් දහසක් සහ රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප 05ක් මත මුදාහැරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය.

ඇපකරුවන් පස්දෙනාම කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා ඇප කොන්දේසියක් පැනවීය. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දීපිකා සමන්මලී මහත්මිය හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව සැකකාරිය මෙසේ ඇප මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහරින ලද්දේ කතරගම පදිංචි දීපිකා දිල්හානි වීරරත්න (33) නමැති අයයි. ඇයගේ සැමියා වන හේවාවිතානගේ සුගත් නොහොත් (40) රාලහාමි නමැත්තා ඇතුළු සෙසු සැකකරුවන් තව දුරටත් මේ මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් කාංචන මාලා සුසන්තා ගුණසේකර පෙරේරා මහත්මිය මීට පෙර නියෝග කර තිබිණි.

2018 ජුනි මස 12 වැනි දින රාත්‍රි 10.40ට පමණ කිරිවෙහෙර නාහිමියන් ඇතුළු තවත් හිමිවරුන් කිහිපනමක් වෙනදා මෙන් කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාමාන කර ආපසු සංඝාවාසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැඟවී සිටි තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකදී විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තුවාල ලැබීය. කතරගම පොලිස් ස්ථානාධිපති අයි.කේ.එස්. යූ.කේ. ලියනගම මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් මනිමෙල්දුර සමන් (28030) ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිස් පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon