බැංකු නිලධාරියාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන්නැයි ආයතන දෙකකට නියෝග

  👤  2848 readers have read this article !
By mawbima 2019-02-12

මාලබේ - රාජිකා රණසිංහ

පසුගිය 2010 වසරේ තලවතුගොඩ මාදිවෙල මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීම නිසා එම යතුරුපැදිය පදවාගෙන ගිය තරුණ බැංකු නිලධාරියකුට බරපතළ තුවාල සිදු කර සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කළ රාජ්‍ය ආයතනයක් සතු ජීප් රියක රියැදුරකුට එරෙහිව කඩුවෙල දිසා අධිකරණය හමුවේ පවරා තිබූ වන්දි නඩුවක තීන්දුව ප්‍රකාශ කළ දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා රුපියල් කෝටියක (ලක්ෂ 100) වන්දි මුදලක් අගතියට පත් බැංකු නිලධාරියාට ගෙවන ලෙසට වගඋත්තරකරුවන් ලෙසට නම් කර සිටි 2 හා 3 ආයතනවලට නියෝග කළේය.

රිය අනතුරු වන්දි නඩුවක් යටතේ මිරිහාන පිටකෝට්ටේ රජමහ විහාර පාරේ මෙරෙඤ්ඤගේ අයිෂාන් සුරත් යොමාල් පෙරේරා නමැති බැංකු නිලධාරියකු විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
මෙම පෙත්සමෙන් විත්තිකරුවන් වශයෙන් නම් කර තිබුණේ ඉන්ජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශ කාර්යාංශයේ රියැදුරු සුරවීර ගමගේ දයානන්ද හා එම ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන දෙකය.

පසුගිය 2010 ජුනි 11 දින පෙරවරුවේ පැමිණිලිකාර බැංකු නිලධාරියා යතුරුපැදියකින් තමා සේවය කරන තලවතුගොඩ හැටන් නැෂනල් බැංකුව වෙත යන අතරතුර මාදිවෙල වැලිපාර අද්දරදී ඉදිරියට පැමිණි පැජරෝ ජීප් රථය, යතුරුපැදියේ මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි තලංගම පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

අනතුර හේතුවෙන් තම සේවාදායක බැංකු නිලධාරියා දැඩි ලෙස තුවාල ලබා ඊට ප්‍රතිකාර කළද සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව ඇතැයිද අවුරුදු 27ක තරුණ නිලධාරියකු වන මොහුට මානසිකව හා ශාරීරිකව සිදුව ඇති දැඩි හානිය මුළු ජීවිතයටම බලපාන බවද පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් බුද්ධික ගමගේ මහතා අධිකරණය හමුවේ අවධාරණය කර තිබිණි. තවද මොහු තමාගේ රැකියාවෙන් මාසිකව ලබන රුපියල් පනස් දහසක වැටුපද අහිමි වී දැඩි කම්පනයට පත්ව සිටින බව පෙන්වා දෙමින් නීතිඥවරයා අදාළ විත්තිකාර ආයතන හරහා තම සේවාදායකට රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා ගැනීමට නියෝගයක් පනවන ලෙසටද අයැද සිටියේය.

දෙපාර්ශ්වයේම සියලු කරුණු සැලකිල්ලට ගත් දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා පැමිණිල්ල විසින් කර ඇති ආයාචනය අනුව පළමු වැනි විත්තිකරුගේ නොසැලකිල්ල හේතුවෙන් නියමිත ධාවන තීරුවෙන් පිටත මාර්ග නීති රීති කඩ කරමින් වාහනය පදවා මෙම අනතුර සිදු කර ඇති බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයිද පැමිණිලිකරුට සිදුව ඇති ශාරීරික හා මානසික දැඩි පීඩාකාරී තත්ත්වයන් සැලකිල්ලට ගෙන වගඋත්තරකාර ආයතන හරහා රුපියල් කෝටියක වන්දි මුදලක් පැමිණිලිකරුට අය කර ගැනීමට අයිතිය තිබෙන බව අවධාරණය කරමින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම වන්දි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ රොෂාන් බුද්ධික ගමගේ මහතාද රක්ෂණ සමාගම ඇතුළු විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ බිනර ගුණසේකර මහතාද පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon