දියණිය කෙළෙසූ පියාට වසර 60ක සිර දඬුවමක්

  👤  2661 readers have read this article !
By mawbima 2019-02-12

තංගල්ල - සහම්පති මානගේ, මත්තල - ඩී.එන් ජයසේකර

දහතුන් හැවිරිදි තම බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනයට ලක්කිරීමේ නඩු දෙකක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට වසර හැටක බරපතළ වැඩ සහිත සිරඳඬුවමක් සහ රුපියල් තිස්දහසක දඩ මුදලක් ගෙවන ලෙස තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්. එස්. සපුවිද මහතා නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ හුංගම පොලිස් වසමට අයත් බටඅත ලිඳේයාය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පස්දරු පියකුටය.

2015 සහ 2016 වසරවලදී සිය බාලවයස්කාර දියණිය කිහිපවාරයක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව හුංගම පොලිසිය මඟින් නඩු පවරා තිබිණි. විත්තිකරුට විරුද්ධව එක් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා තුන බැගින් චෝදනා හයක් ගොනුකර තිබූ අතර එම චෝදනා සියල්ලම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා වැරැදිකරු විය.

එක් චෝදනාවකට බරපතළ වැඩ ඇතිව වසර දහය බැගින් වසර හැටක සිරදඬුවම් සහ එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් තිස්දහසක දඩ මුදලක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස හය බැගින් වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම්ද මහාධිකරණයෙන් නියම කෙරිණි. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon