බාල වයසේ දරුවන් 5ක් කෘෘරත්වයට පත්කළ කපුවකුට හා අනියම් බිරියට ඇප

  👤  2724 readers have read this article !
By mawbima 2019-02-12

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

බාල වයස්කාර දරුවන් පස් දෙනකු නොසලකා හරිමින් කෘෘරත්වයට පත්කළ අනුරාධපුර සාලියපුර පදිංචි කපුවකු හා ගල්කඩවල හන්දියේ පදිංචි ඇගේ අනියම් බිරිය බව කියන තරුණ කාන්තාවක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දේවාලයක් පවත්වාගෙන යන කපුවා යැයි කියන පුද්ගලයාට බාල වයස්කාර දරුවන් තිදෙනකු සිටින අතර ඇගේ අනියම් බිරිය කියන තැනැත්තියට බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි. විටින් විට විදේශ ගතව ලංකාවට පැමිණෙන කාන්තාව සමඟ සැකකාර කපුවා සබඳතා පැවැත්වීම නිසා කපුවාගේ බිරිය සිය දරුවන් කෘෘරත්වයට පත්වී ඇති බව කියමින් පොලිසියට කළ පැමිණිල්ලට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිය බිරිය හා දරුවන් නිවෙසේ සිටියදීම අනියම් බිරිය නිවෙසට රැගෙනවිත් දරුවන්ට පෙනෙන අන්දමට ඇය සමඟ එක්වී මත්පැන් හා දුම්වැටි පානය කරමින් ඇය සමඟ පිළිකුල් සහගත ක්‍රියාවන්වල නිරතවීම නිසා දරුවන් අපහසුතාවට පත්වන බව බිරිය පැවැසූ අවස්ථාවේ ඔවුන් සියලුම දෙනාට පහරදී නිවෙසින් එළවා දමා තිබෙන බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් සිය දරුවන් කෘෘරත්වයට පත්වී ඇති බව කියමින් කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලට අනුව එහි ගොස් පොලිසිය පරීක්ෂණ පවත්වා ඇති අතර සැකකරුගේ වයස අවුරුදු 15ක් වන පුත්‍රයා හා වයස අවුරුදු 10ක් හා මාස 38ක් වයසැති ගැහැනු ළමයින් දෙදෙනා මානසික හා ශාරීරික වශයෙන් පීඩාවට පත්වී ඇති බව නිගමනය කළ පොලිසිය කපුවා අත්අඩංගුවට ගෙන ඇත.

මව විදේශ ගතව සිට ලංකාවට පැමිණීමෙන් පසුව වෙනත් පුරුෂයකු සමඟ සිටීම නිසා තමන් පීඩාවට පත්වී ඇති බව කියමින් 37 හැවිරිදි කාන්තාවගේ වයස අවුරුදු 16 - 12 වන පිරිමි දරුවන් දෙදෙනා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලට අනුව එම කාන්තාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඇය දරුවන් දෙදෙනාට නොසලකමින් අනියම් සැමියා සමඟ විනෝද වෙමින් අනියම් ඇසුර පවත්වා තිබෙන බව පොලිසිය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත. දරුවන් පරිවාස අධීක්ෂණයට යටත් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මෙනෙවියගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon