සුපිරි මෝටර් රිය සඟවා ගෙන සිටි පිය - පුතු දෙදෙනා රිමාන්ඩ්

  👤  2829 readers have read this article !
By mawbima 2019-02-12

කොළඹ - එම්.සී. පෙරේරා

ඩුබායිහි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරියට අයත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථය සඟවා තබා ගත් පිය - පුතු දෙදෙනා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ පාදුක්ක පෝරේගෙදර පදිංචි ලාල් තිසේරා (54) හා රොබින් තිසේරා (26) යන පිය පුතු දෙදෙනායි.

මීට දින කිහිපයකට ඉහතදී නාඳුනන පුද්ගලයකු පැමිණ මෝටර් රථයක් පොරේගෙදර ප්‍රදේශයේ නවතා පිටවී ගිය බවට පාදුක්ක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්. කේ. විතානගේ මහතාට ලද තොරතුරක් අනුව එම නිවෙස වටලා මෝටර් රථය සොයා ගත් බව පොලිසිය කියයි.

එම නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගත් 26 හැවිරිදි පුත්‍රයා අවස්ථා දෙකකදී ඩුබායි රටට ගොස් පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තා හමු වී ඇති බව ඔහුගේ ගුවන් ගමන්බලපත්‍රය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරිවරයකු පැවැසීය.

පොලිසිය භාරයට ගත් මෝටර් රථය මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරියගේ මහරගම නිවෙසේ සිට මීට දින කිහිපයකට ඉහතදී පාදුක්කට රැගෙන විත් තිබූ බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිස් නිලධාරිවරයා වැඩිදුරටත් පැවැසීය.

එම මෝටර් රථය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හෝ කිසියම් අපරාධයක් සඳහා යොදා ගත්තාද යන්න සොයා බලන බවට පොලිසිය කියයි.

පාදුක්ක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.කේ. විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon