උදාගම්මාන වැඩසටහනට මඩ ගැසීමේ අලුත් සෙල්ලමක් විරුද්ධවාදීන් පටන් අරන්

  👤  2597 readers have read this article !
By mawbima 2019-02-12

උදාගම්මාන වැඩසටහන විවේචනය කිරීමේ අලුත් සෙල්ලමක් විරුද්ධවාදීන් ආරම්භ කරලා. කවුරු මොන දේ කළත් ඒ සෑම බාධාවක්ම ජය ගනිමින් ගම්මාන 20,000ක් ඉදිකර සැමට සෙවණ සලසන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස පැවැසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කළුතර, ඉංගිරිය, නිමලගම ඉදි වූ 'ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි' උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව පැවැති ජනහමුවකට එක් වෙමිනි. සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය. අපට විරුද්ධ විවිධ කණ්ඩායම් අලුත් සෙල්ලමක් ආරම්භ කර තිබෙනවා. එනම් අපගේ උදා ගම්මාන වැඩසටහන විවේචනය කිරීමයි. නිවාස ඉදිකිරීමට මෙපමණ මුදලක්ද?

නමුත් උත්සවය වෙනුවෙන් මෙපමණ මුදලක්ද වැය වී ඇතැයි කියමින් ඔවුන් ගණන් හදා පෙන්වනවා. එසේ කියමින් මඩ ගහනවා. චරිත ඝාතනය කරනවා. විවේචනය කරනවා. නිවෙස ඉදිකිරීමට ලබා දුන් මුදල පමණක් නොව ඉඩම් නොමැති ජනතාවට අද නොමිලේ පර්චස් 12ක ඉඩම ලබා දෙනවා. මේ ප්‍රදේශයේ පර්චසයක් රුපියල් ලක්ෂයක් පමණ වෙනවා.

අමාත්‍යාංශය අරමුදල්වලින් කෝටි ගණනින් වැය කර නිවෙස් ඉදිකර ඒ නිවෙසේ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ලියා ගත් ඇත්තන්ට අද අපගේ උදාගම්මාන වැඩසටහන උහුලන්නට බැරිව බලා සිටිනවා. මගේ වැටුපත් නිවාස ඉදිකිරීම් උදෙසා ලබා දෙනවා. එසේ සිදු කරන මට රජයේ මුදල් නාස්ති කරනවා යැයි අද සමහරුන් පවසනවා. ඔය චෝදනාවම මගේ පියාණන්ටද එල්ල කළා.

මෙරට උදා ගම්මාන 20,000ක් ඉදිකිරීමේ වැඩසටහනේදී අපගේ නිලධාරීන්ට අද පෞද්ගලික ජීවිතයක්වත් නැහැ. නිදිවරා පොදු ජනතාවට ශක්තිමත් සේවාවක් කරන රාජ්‍ය නිලධාරීන් සිටිනුයේ මා ළඟ බව මා ආඩම්බරයෙන් පවසනවා. මැදමුලන වලව්ව ඉදිරිපිට මහින්ද රාජපක්ෂ ගම්මානයටත් මුල්ගල තබා වැඩ ආරම්භ කිරීමට මා ඉදිරියේදී කටයුතු කරනවා. හොර පාරෙන් අගමැතිකම්, ඇමැතිකම් ලබාගත් අය හම්බන්තොට අමරදේව සූරීන්ගේ නමින් ඉදිකළ ගම්මානයේ ඵලකය විනාශ කළා. අක්ෂි ආබාධ තිබෙන අය වෙනුවෙන් තිස්සමහාරාමයේ ඉදිකළ 'සියනෙතුගම' ගම්මානයේ ඵලකය ඔවුන් විනාශ කළා. 'මහින්ද රාජපක්ෂ ගම්මානය' ඉදිකරන විට ඒ ගම්මානයේ ඵලකයට කුමක්ද වන්නේ ද කියා මා බලා සිටිනවා.

නැවත වරක් මේ රටේ දූෂණයට, වංචාවට, භීෂණයට, ඒකාධිපතිත්වයට, ආඥාදායකත්වයට අප කිසි විටක ඉඩ තබන්නේ නැති බව මා වගකීමෙන් ප්‍රකාශ කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon