මේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න විකල්ප දේශපාලන පෙරමුණක් අපට අවශ්‍යයි - ආචාර්ය අනිල් ජයන්ත

  👤  2603 readers have read this article !
By mawbima 2019-02-12

මෙරට සමස්ත ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිකය වැටී ඇති අගාධයෙන් ගොඩගත හැකි පුළුල් ජාතික වැඩපිළිවෙළ එළැඹෙන 19දා රටට එළිදක්වන බව ජාතික විද්වත් සංවිධානය පවසයි.


එම සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත පැවැසුවේ රටේ සියලුම අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍රයන් ආවරණය වන මෙම ප්‍රතිපත්ති මාලාව හුදු ලියවිල්ලක් නොකර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ජනතාව මැදිහත් විය යුතු බවය.

ඔහු මේ බව පැවැසුවේ පෙරේදා (10දා) පිටකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
මෙතෙක් කල් රට පාලනය කරපු අය විවිධ විදියට රට පාලනය කළා. එම පාලනයේ ශේෂ පත්‍රය ඉතාම කනගාටුදායකයි. රටේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් නැහැ. ජනතාවට හොඳ සෞඛ්‍යයක් නැහැ. අධ්‍යාපනය, ප්‍රවාහනය, කලාව, සංස්කෘතිය ඍණාත්මකයි. තවදුරටත් මේ විදියට ආණ්ඩුකරණයක් තිබුණොත් අපේ රටට උදා වෙන්නේ ඉතාම අයහපත් තත්ත්වයක්. ඒ නිසා රටට වැඩදායී, ජනජීවිතය ඔසවා තැබිය හැකි පොදු පරමාර්ථයන් ඉලක්ක කර ගත් ජාතික වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි.

මෙතෙක් පැවැති පාලනයන්ට හෝ වර්තමාන පාලනයට එම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැරි බව ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා විකල්ප දේශපාලන පෙරමුණක අවශ්‍යතාව මතුවෙලා තිබෙනවා. පෙබරවාරි 19 වැනිදායින් පසුව මේ පිළිබඳව පුළුල් සංවාදයක් රට තුළ ගොඩනැඟිය යුතුයි. විද්වතුන්, වෘත්තිකයන් ලෙස මෙම ජාතික වැඩපිළිවෙළ එළිදක්වන්න කටයුතු කළත් එතැනින් එහාට ගිය දේශපාලන කාර්යභාරය බැරෑරුම් එකක්. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා. මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපේ රටේ සමස්ත ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය වැටී ඇති අගාධයෙන් උඩට ගන්න දරන පළමුවැනි උත්සාහයක් ලෙස මෙම ජාතික වැඩපිළිවෙළ හඳුන්වන්න පුළුවන්.

සාහිත්‍යවේදී කමල් පෙරේරා

ලේඛකයන්, කලාකරුවන් ලෙස අවස්ථාවාදී කල්ලි බලයට එන එක වැළැක්විය යුතුයි. වංචා, දූෂිතයන් බලයට ගෙන එන්න ලේඛක ලේඛිකාවන් හෝ කලාකරුවන් ලෙස අපි සහාය ලබා නොදිය යුතුයි. රටට හොඳ ජාතික වැඩපිළිවෙළක් ගොඩනැඟීම වෙනුවෙන් සියලුම කලාකරුවන් අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙක් ලෙස මම ඔවුන්ට ආරාධනා කරනවා.
ජාතික විද්වත් සංවිධානයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

පසුගිය 71 වසරක කාලය තුළ පාලකයන් අපේ රටට යහපත් අනාගතයක් උදා කළේ නැහැ. විද්වතුන්, වෘත්තිකයන් ලෙස අපිට ප්‍රසිද්ධ දේශපාලනයට මැදිහත් වෙන්න එය හේතුවක් වුණා. මම නියෝජනය කරන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවයි. අද මේ රටේ සෞඛ්‍ය බරපතළ ලෙස කඩා වැටිලා. සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය මුදල මත තීරණය වන සාධකයතක් වෙලා. ග්‍රාමීය රෝහල් වැසීයන තත්ත්වයක් උද්ගත වෙලා. මත්ද්‍රව්‍ය උවදුර මුළු රටම වෙළාගෙන. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ රටේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරමින් ඉන්නවා. මේ මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරා ගන්න වසංගත රෝග විශේෂඥයන්, සමාජ විද්‍යාඥයන්ගේ සහාය ලබාගත යුතු අවස්ථාවක් උද්ගත වෙලා තිබෙනවා.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ

කලාව ජනතාව වෙනුවෙන් යන තේමාව පදනම් කරගෙන කලා සංස්කෘති වැඩසටහන අපි දියත් කරනවා. අද අපේ රටේ ප්‍රධාන මාධ්‍යවල ගුවන් කාලය ඉන්දියාවෙන් කොරියාවෙන් ගෙනෙන කසිකබල් ටෙලි නාට්‍යවලින් පිරිලා තිබෙනවා.

ඒ නිසා අපේ රටේ නළු නිළියන් නිර්මාණකරණයේදී විශාල ගැටලුවකට මුහුණදීලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ පාලකයන් ජනතාවගේ කලාව වෙනුවෙන් මොකක්ද කරලා තිබෙන්නේ. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සමඟ නිදිවදින දේශපාලකයන් සමඟ තවදුරටත් අපේ රට ඉදිරියට ගෙනයන්න බැරි බව අපේ රටේ ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා.

මහාචාර්ය වසන්තා සුබසිංහ

ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලබපු පිරිසක් විදියට අපිට නිහඬව ඉන්න බැරි තත්ත්වයක් අද රට තුළ තිබෙනවා. එක පැත්තකින් ජාතිවාදී ආන්තීකරණයකට අපේ රට ඇදගෙන යනවා. තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය. ජනතාවගේ නිම නොවන දුප්පත්කම, ආදායම් විෂමතාව ඉහළට ඇවිත් තිබෙනවා. ඒ අතර අපේ රටේ ජනතාව විෂම පරිභෝජනීය රටාවකට මුහුණ පාලා තිබෙනවා. අනෙක් බොහෝ රටවල් සංවර්ධනය අත්පත්කරගෙන තිබෙන්නේ ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් ගොඩනඟාගෙනයි.

මානව සම්පත් කළමනාකාර තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ
ජාතික විද්වත් සංවිධානය බිහිවුණේ 2008 වර්ෂයේදීය. අපේ රටේ පාලකයන් මේ රට ආර්ථික, දේශපාලනික, සමාජයීය වශයෙන් පරිහානියට පත්කර තිබූ නිසා ඊට විකල්පයක් සෙවීමට තමයි ජාතික විද්වත් සංවිධානය ගොඩනැඟෙන්නේ.

අපේ රටේ දේශපාලකයන් මෙතෙක් කල් දේශපාලනය කළේ ඔවුන්ගේ පෞද්ගලික අරමුණු මුදුන්පත් කර ගැනීමට පමණයි. ඒ නිසා තමයි අපිට විකල්ප ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාව පැනනැඟිලා තිබෙන්නේ.
ආචාර්ය අතුලසිරි සමරකෝන්

අද මෛත්‍රිපාල ජනාධිපතිවරයා කලබල වෙලා. මත්ද්‍රව්‍ය මර්දනය ගැන කතා කරනවා. නමුත් අද ජනාධිපතිවරයාගේ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි දේ බවට පත්වෙලා. ඔහු බලයට ගෙනා ප්‍රගතිශීලී කණ්ඩායම්වලින් මිදිලා රට විනාශ කරන කණ්ඩායමක් සමඟ එකතු වෙලා. බුද්ධිමය කණ්ඩායම් බැහැර කරලා. දූෂිත දේශපාලන බලය පරාජයට පත්කොට මේ රට ගොඩනැඟිය හැකි අවංක වුවමනාවක් තිබෙන සියලු දෙනා එකතු වී නව දේශපාලන බලයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon