ගලෙන්බිඳුණුවැව ගොවීන් දෙදෙනකු පොලිසියට ගෙනත් බාල්කයක එල්ලා පහරදීලා

  👤  2759 readers have read this article !
By mawbima 2019-02-12

අනුරාධපුර - මහෙෂ් වීජේසූරිය

මී ගවයන් කිහිප දෙනකු සොරාගත් බවට චෝදනා කරමින් ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ පදිංචි ගොවීන් දෙදෙනකු කන්තලය පොලිස් ස්ථානයට ගෙන ගොස් බාල්කයක එල්ලා උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිවු දෙනකු කළ පහරදීම නිසා ඇතිවූ තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පොලිස් ප්‍රහාරයට ලක්වූ ගොවීන් දෙදෙනකු පෙරේදා (10දා) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.

දෑත්වලට විලංගු (මාංචු) දමා බාල්කයක එල්ලා පොලුවලින් හා අතින් පහර දීම නිසා ශරීරයේ විවිධ ස්ථානවලට තැළුම් සිදුවූ අලුත් දිවුල්වැව, පරණගම, ගැටලාව, ගලෙන්බිඳුණුවැව පදිංචි එක්දරු පියකු වන 39 හැවිරිදි සුගත් සාගර රණසිංහ හා ගල්කරුයාය, ගැටලාව ගලෙන්බිඳුණුවැව පදිංචි තිදරු පියකු වන 42 හැවිරිදි ලක්ෂ්මන් ජයවීර යන දෙදෙනා මෙසේ තුවාල ලබා ඇත. සාගර රණසිංහ යන අයගේ පපු පෙදෙස පාගමින් පහරදීම නිසා මේ වන විට හුස්ම ගැනීමේ අපහසුතාවකට පත්ව සිටී.

ඔවුන්ගේ දෑත්වලට මාංචු දමා එල්ලීම හේතුවෙන් දෑත් බාහිරින් ඇතිව තිබූ තැළුම් තුවාල දක්නට ලැබුණු අතර ගෙල, ඉළ ඇට දණහිස්, පපු ප්‍රදේශයන්ට පහරදීම නිසා සිදුව තිබූ තැළුම් තුවාල රැසක් ශරීරය පුරා දැක ගැනීමට හැකිවිය. උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිවු දෙනකු ගොවියන් දෙදෙනා අවස්ථා දෙකකදී රැගෙන විත් පොලිස් ස්ථානය තුළ රඳවාගෙන පහරදී සුගත් සාගර රණසිංහ නමැත්තාට පහර දෙන අයුරු ජංගම දුරකථනයෙන් පටිගත කළ බව ඔහු පැවැසුවේය.

ගවයන් නැතිවීමේ සිද්ධියට අදාළව තවත් පස් දෙනකු පොලිසියට කැඳවා ගොවියන් දෙදෙනාට එරෙහිව සාක්ෂි ලබාදිය යුතු බව පවසමින් ඔවුන් අතර සිටි එක් තරුණයකුටත් උප පොලිස් පරීක්ෂකවරයා පහරදුන් බව ඔවුහු පැවැසූහ.

බරපතළ ලෙස පහරකෑමට ලක්වූ සුගත් සාගර රණසිංහ මහතාට පසුගිය ජනවාරි මස 22දා ගවයන් නැතිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කන්තලේ පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇති අතර ඔහු එහි ගොස් සිය ගවගාලේ නාඳුනන මී ගවයකු සිටින බව පොලිසියට පවසා තිබේ.

පහර කෑ ගොවියන් දෙදෙනා කන්තලේ පොලිස් වසමට සීමාවන ආලංකුලම ප්‍රදේශයේ මී ගවයන් 150කගෙන් පමණ සමන්විත ගව ගාලක් පවත්වාගෙන යන අතර කන්තලේ මුස්ලිම් ව්‍යාපාරිකයාට අයත් මී ගවයන් කිහිප දෙනකු තණ කමින් ගලෙන්බිඳුණුවැව සීමාවට පැමිණ ගොවියන්ගේ මීගව රංචුව සමඟ එක්වී ඇති බව පවුලේ ඥාතීහු පැවැසූහ.

මේ මස 5දා සවස නිවෙසට පොලිස් ජීප් රථයක් පැමිණ සුගත් සාගර රණසිංහ මහතාව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට රැගෙන යන බව පවසමින් ගෙන ගොස් ඇති අතර පසුදා (6දා) අලුයම 2.45 සිට බාල්කයක එල්ලා උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් අමානුෂික වධ බන්ධන සිදුකළ බව පවුලේ ඥාතීහු පැවැසූහ.

පහරකෑම නිසා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන සුගත් සාගර රණසිංහ මහතා කන්තලේ පොලිසිය තුළදී සිදුවූ අමානුෂික පහරදීම් පිළිබඳව මෙසේ පැවැසුවේය. මාව 5දා සවස 3.45ට විතර නිවෙසට ආපු පොලිසියේ මහත්වරු වගයක් අරන් ගියා. මම මී ගවයන් හොරකම් කළා කියන මුස්ලිම් ව්‍යාපාරික මහතාට කිව්වා මගේ මී ගව රංචුවට නාඳුනන මී ගවයකු එකතු වෙලා ඒ ගවයව අරන් යන්න කියලා. මම ලිපියකුත් දුන්නා. මගේ සත්තු දෙන්නෙක් මේ වන විට අතුරුදන් වෙලා. අපි කාටවත් කන්තලේට ගිහිල්ලා මී ගවයන් හොරාට අල්ලාගෙන එන්න ඕන නෑ. මේ සත්තු තණකොළ කන්න දැම්මම කිලෝමීටර් 7-8ක් දුරට තණකොළ කන්න යනවා. ආපහු අපි කැලෑවේම ගාල් කරනවා.

මාව ජීප් එකෙන් අරන් යන අතරමඟ හමුවන හබරන නගරයෙන් තේ අරන් දුන්නා. ඊට පස්සේ මාව පොලිස් සිරමැදිරියේ රඳවලා පසුදින අලුයම 2.45ට විතර එස්.අයි. මහත්තයා ඇතුළු සිවුදෙනකු මාංචු දාලා අරගෙන ගියා. ගිහිල්ලා මාව පොඩි බංකුවකට නග්ගලා අත්දෙක දෙපැත්තට දාලා වහලේ බාල්කය අල්ලලා මාංචු දැම්මා. පස්සේ පොඩි බංකුවට පයින් ගැහුවා. මම වේදනාවෙන් කෑගැහුවා. හරක් හොරකම් කරා කියපිය කියපිය කියමින් පරුෂ වචනයෙන් බැන බැන පැය තුනක් විතර සිරුරේ හැම තැනකටම අතින් පයින් පොලුවලින් ගැහුවා.

මාංචු ගලවලා බිම දාලා පෑගුවා. මම හිතුවා මට ආපසු පණ පිටින් ගෙදර යන්න බැරිවෙයි කියලා. මගේ නෝනා තැලසීමියා රෝගියෙක්. මම කවදාවත් රියැදුරු බලපත්‍රයක් නැතුවවත් පොලිසියට අහුවෙලා නෑ. හොරකම් කරලත් නෑ. සත්තු තණ කන්න ඇරියාම සමහර වෙලාවට වෙන රෑන් එක්ක ගාල් වෙනවා. ගවයෝ 150ක් ඉන්න තැනක හරිම අමාරුයි සතුන් වෙන්කරලා අඳුන ගන්න. මට ගහපු සියලු දෙනා ළඟින් මත්පැන් ගඳ වහනය වුණා යනුවෙන් ඔහු පැවැසීය.

අමානුෂික පොලිස් ප්‍රහාරයට ලක්වූ ලක්ෂ්මන් ජයවීර මහතා
සාගර මල්ලිව උසාවි දැම්මට පස්සේ මට 8දා පොලිසියට එන්න කියපු නිසා මම පොලිසියට ගියා. සාගර මල්ලිට එල්ලා ගහන වීඩියෝවක් එස්.අයි. මහත්තයාගේ ෆෝන් එකේ තිබ්බා. අරූට දුන්නේ මෙහෙමයි කියලා ඒක මට පෙන්න පෙන්න ගැහුවා.

අපි ගවයන් හොරා ගත්තා කියන මුස්ලිම් මුදලාලි මට ගහන තැන හිටියා. ඔහුගේ කකුල් දෙක ළඟට වැටෙන්න මට ගැහුවා. මගේ වම් අතේ මාපට ඇඟිල්ල කැඩෙන්න ගැහුවා. අපි ලෝකේ තියෙන ලොකුම හොරකමක් කළා වගේ අපිට ගැහුවේ යනුවෙන් ඔහු පැවැසුවේය.

මෙම ගොවියන් දෙදෙනාට පහරදීමෙන් අනතුරුව වෙන් වෙන්ව අන්සතු ගවයකු ළඟ තබා ගැනීමේ චෝදනාවට කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප එකක් මත මුදාහැර තිබිණි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිසිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර පහරදුන් බවට වෛද්‍යවරයා හමුවේ ප්‍රකාශ කළහොත් තොපි තවත් අමාරුවේ යනුවෙන් පහරදුන් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස ඔවුන්ට තර්ජනය කළ නිසා ඇතිවූ බියට අධිකරණ වෙදේ‍යවරයා ඉදිරියේ නිහඬව සිටි බව ඔවුහු පැවැසූහ.

පහර කෑමට ලක්වූ ගොවීන්ට එරෙහිව සොරකම්, මංකොල්ලකෑම් හෝ වෙනත් අපරාධ සිදුකිරීමේ සිද්ධීන්ට අදාළව චෝදනා ඇත්දැයි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයෙන් කළ සොයා බැලීමකදී එවැනි චෝදනා ඔවුන්ට නැති බව අනාවරණය කළ අතර ලක්ෂ්මන් ජයවීර නමැත්තාව යතුරුපැදියක් ගිනි තැබීමේ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කර ඇතත් ඔහු එම චෝදනාවෙන් නි‍ෙදාස් කොට නිදහස් වී ඇති බව අනාවරණය විය.

අමානුෂික පහරදීම සම්බන්ධයෙන් විමසීම සඳහා කන්තලේ පොලිසියේ සේවයේ නියුතු බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ ඇමතුම් ලබා ගත්තත් ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්විය. පසුව පෙරළා ඇමතුමක් ලබාගත් ඔහු මෙසේ ගිගුරුවේය. තමුන් කවුද මගෙන් ඒවා අහන්න. ඒ ගැන විමර්ශන කරන්න කවුද? මම හෙට හොයා ගන්නම් "මව්බිම"ට කතා කරලා මේ නම්බර් එක ගැන කියමින් දුරකථනය විසන්ධි කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon