ජනාධිපතිවරයා පොරොන්දු වුවත් කේපාපිලව් වැසියන්ගේ ඉඩම් නිදහස් නොකිරීම බලවත් වරදක්

  👤  2587 readers have read this article !
By mawbima 2019-02-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට පසුගිය වසර අවසන් වීමට පෙර ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත් මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන්ගේ ඉඩම් මෙතෙක් නිදහස් නොකිරීම බලවත් වරදක් බව ටී.එම්.කේ. පක්ෂයේ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා මුලතිව්හිදී පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ මුලතිව් කේපාපිලව් ගම්මානයේ තමන්ට අයත් ඉඩම් ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටින පිරිස හමුවීමට ගිය අවස්ථාවේදීය.

එහිදී එම ගම්වාසීන්ගේ පාසල් යන දරුවන් සඳහා පාසල් පොත් බෑග් සහ අධ්‍යාපන උපකරණ තොගයක් ලබාදීමෙන් අනතුරුව අඛණ්ඩව විරෝධතාවයේ නිරත පිරිස සමඟ විග්නේශ්වරන් මහතා කතා කළ අවස්ථාවේදී මෙසේ පැවැසීය.

මේ පිරිස යුද අනාථයන් වුවත් ඔවුන්ව යළි පදිංචිකරවීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ ඉඩම්වල හමුදාව පදිංචි වී සිටීම නිසා බව ඔහු කියා සිටියේය.

යුද්ධය හමාර වී වසර 10ක් ඉක්මවීමට ආසන්න මොහොතකවත් මේ පවුල් 700ක පමණ පිරිසකගේ ඉඩම් ආපසු ලබාදී ඔවුන්ව යළි පදිංචි කරවීමට රජය උනන්දු විය යුතු බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කොට තිබේ.
මේ ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා තමන් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි කාලයේදී රජයෙන් හා එවකට සිටි ආණ්ඩුකාරවරයාගෙන්ද යුද හමුදාපතිවරයාගෙන්ද ඉල්ලීම් කරන ලද නමුත් ඒ එකම ඉල්ලීමකටවත් සාර්ථක පිළිතුරක් නොලැබුණු බව ඔහු සඳහන් කළේය.

යළිත් වතාවක් මේ ප්‍රශ්නය පිළිබඳ වගකිව යුත්තන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවට විග්නේශ්වරන් මහතා කේපාපිලව් වැසියන්ට පොරොන්දු වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon