දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනයට උදවු කරන්න

  👤  2607 readers have read this article !
By mawbima 2019-02-12

උග්‍ර සෙම් අමාරුවකින් හා දරුණු වගුකඩු ආබාධයකින් පෙළෙන අසරණ මවක් සහ පියෙක් සිය කුඩා දියණියන් දෙදෙනා පාසල් යවා උස් මහත් කළද වර්තමානයේදී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යමක් කරගත නොහැකිව අසරණව සිටිති.

මොවුන් අපට හමුවූයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගම්මානයක් වන කුරුවිතැන්න, මහගම, බකිනිගහඋල්පත, ගම්මානයේදීය.

රජය මඟින් වකුගඩු දීමනාව සහ සමෘද්ධි දීමනාව ලෙස ලැබෙන සුළු මුදල හැරුණු විට මෙම පවුලේ උදවියට කිසිදු ආදායම් මාර්ගයක් නොමැත. ඔවුන් දරුවන් පාසල් යැවීම ඇතුළු පවුලේ සෑම කටයුත්තක්ම කර ගන්නේ එම සොච්චම් මුදලිනි.

මේ හේතුව නිසා වේලක් හැර වේලක් කමින් දරුවන් දෙදෙනා පෝෂණය කර ඔවුන් දෙදෙනාට ඉගැන්වීමට සිදුව ඇතැයි මේ මවුපියෝ පවසති.

දරුවන්ගේ පියා වන බී.බී. මුතුබණ්ඩා තමන් පත්ව සිටින අසරණභාවය පිළිබඳව මෙසේ කීය.

"මහත්තයෝ අපි හරිම දුප්පත්. රජයේ සමෘද්ධිය විදියට ලැබෙන මුදලත් වකුගඩු ආධාරයත් ඇරුණම අපිට කියලා ජීවත් වෙන්න අඩුම ගාණේ ඉඩම් කෑල්ලක්වත් නැහැ. යමක් කමක් කරගන්න පුළුවන් කාලේ යන්තම් අටවගත්ත මේ කටුමැටි පැල්පත විතරයි අපිට තියෙන්නේ. ඒකත් හොඳටම අබලන්. වැස්සට තෙමෙනවා. කොයි වෙලාවේ කඩාගෙන වැටෙයිද කියන්න බැහැ.

මේ රෝගය හැදිලා අවුරුදු දහයකටත් වැඩියි. මගේ එක වගුගඩුවක් පුපුරලා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. මගේ නෝනට ලොකු සෙම් අමාරුවක් තියෙනවා. නිතරම බේත් ගන්නවා. ඒ නිසා එයාටත් වැඩක් පළක් කරගන්න හැකියාවක් නැහැ. ඉස්සර නම් අපි කුලී වැඩක් කරලා ජීවත් වුණා. නමුත් දැන් දෙන්නටම පොඩි දෙයක් කළත් හති අමාරුව හැදෙනවා.

ඒ නිසා රජයෙන් ලැබෙන සමෘද්ධියෙන් තමයි දරුවෝ දෙන්නට කන්න දීලා උගන්වන්නේ. අපි වේලක් ඇර වේලක් කාලා හරි දරුවො දෙන්නට උගන්වන්න තමයි මහන්සි වෙන්නේ.

දරුවො දෙන්නට තාම කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. ඒ දෙන්නා මේ දුක් කන්දරා විඳගෙන බොහොම අමාරුවෙන් ඉස්කෝලෙ යනවා. ඒ දෙන්න ඉගෙන ගන්න ආස නිසා ගෙදර නවත්ත ගන්න අපිට හිතෙන්නෙත් නැහැ. ඒ නිසා පුළුවන් විදිහට මේ දරුවො දෙන්නට අපි උගන්වනවා. සමහර වෙලාවට එයාලා පාසල් යන්නෙ බඩගින්නේ.

කවුරුහරි ඉදිරිපත් වෙලා අපි දෙන්නට නැතත් මේ දරුවො දෙන්නා වෙනුවෙන් කිසියම් උදව්වක් උපකාරයක් කරනවා නම් ඒක ලොකු පිනක්.

බී.බී. මුතුබණ්ඩාගේ නමින් ලංකා බැංකුව මීගහකිවුල ශාඛාවේ ආරම්භ කර ඇති අංක 80833308 ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ දුරකථන අංක 076 6369201ට කතා කිරීමෙන් හෝ මේ පවුලට පරිත්‍යාගශීලීන්ට උදවු කළ හැකිය.

මීගහකිවුල
- රුවන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon