මිනී මැරුමකට බන්ධනාගාරගත කොට සිටි සැකකරු තවත් මිනී මැරුමකට සූදානමින් හිරෙන් පැනලා

  👤  2455 readers have read this article !
By mawbima 2019-02-11

කුමුදු උපුල් ශාන්ත

මිනී මැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකාර පුද්ගලයකු ඔහුගේ අනියම් බිරියගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම් අරමුණ ඇතිව පෙරේදා (09දා) අලුයම් කාලයේදී එම බන්ධනාගාරයෙන් රහසිගතව පලාගොස් ඇති බව වාර්තා වෙයි.

එසේ පැනගොස් ඇත්තේ කෑගල්ල බන්ධනාගාරයේ වාට්ටු අංක දෙකේ රඳවා සිටි බව කියන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද දැන ගැනීමට තිබේ.

සැකකාර පුද්ගලයා ඉහත කී දින අලුයම් කාලයේදී ඔහු රඳවා සිටි සිරමැදිරියට අනුයුක්ත වැසිකිළියක සිවිලිම හා වහලය කඩාගෙන ඉන් පිටතට පැමිණ පලාගොස් ඇති බවද අනාවරණය වෙයි.

සැකකරුවා රක්ෂිත බන්ධනාගාරගත වීමට පෙර කුලියාපිටිය ප්‍රදේශයේ පොල්ලෙලි වැඩපොළක සේවයෙහි යෙදී සිට ඇති බවත් එසේ සේවය කරමින් සිටින අතරතුර ඔහු එකී වැඩපොළේ අයිතිකරුගේ බිරිය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ඇති බවද දැන ගැනීමට තිබේ.

එසේ අනියම් ඇසුර පවත්වාගෙන යන අතරතුරදී එම සැකකාර පුද්ගලයා මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතරවාරයේ ඉහත කී ඔහුගේ අනියම් බිරිය ඔහුව බැලීම සඳහා අවස්ථා කීපයකදීම කෑගල්ල බන්ධනාගාරය වෙත පැමිණ ඇති බවද වාර්තා වෙයි. තම අනියම් බිරියට ඔහුගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයාගෙන් හිරිහැර සිදුවන බවත් ඔහුව මරා දමනවා යනුවෙන් ඔහු නිරන්තරයෙන් එම සිරමැදිරියේ රැඳවූවන්ට පවසා ඇති බවද අනාවරණය වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් වෙනත් අයකු ඝාතනය කිරීමේ අරමුණෙන් ඔහු පැන ගියේද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon