ඉදල්ගස්හින්න ලැගුම්හලක හදිසි විස දුමක්

  👤  2443 readers have read this article !
By mawbima 2019-02-11

බොරලන්ද -

සමන් නැඳුන්ගමුව

විදේශීය හා දේශීය සංචාරක පිරිස් ලැගුම්ගන්නා හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේ ලැගුම්හලක ඊයේ (10දා) ඇති වූ හදිසි විස දුම තත්ත්වයක් නිසා එක් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලිසිය පවසයි.

හපුතලේ, ඉදල්ගස්හින්න මෙම ලැගුම්හලේ හිමිකරු වන ලෝගනාදන් බාලචන්ද්‍ර නමැති හැට හැවිරිදි පුද්ගලයකු මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. හපුතලේ, ඉදල්ගස්හින්න මෙම අවන්හලේ නතර වී සිටි සංචාරක පිරිසකට පෙරේදා (09දා) රාත්‍රි බාබකිව් පිළියෙල කරදී සීතල නිසා එම බාබකිව් උදුන නිදන කාමරයේ තබා නිදාගෙන සිටියදී කිසියම් දුමක් ආඝ්‍රාණය වීම නිසා ඊයේ උදෑසන මෙම තිදෙනාම තංගමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුරින් පිරිමි පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ පනස් හැවිරිදි බිරිය සහ හතළිස් හැවිරිදි අවන්හල් සේවිකාව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය තංගමලේ ප්‍රදේශීය රෝහලේ තැන්පත් කර ඇත. මෙම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හපුතලේ පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon