මධුෂ් ඇල්ලුවා වගේම ඔහු නිර්මාණය කළ දේශපාලකයොත් රටට හෙළි කළ යුතුයි

  👤  2455 readers have read this article !
By mawbima 2019-02-11

බළන්ගොඩ -

නලින්ද වලේබොඩ
මාකඳුරේ මධුෂ්ව

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මාධ්‍ය ඒ ගැන ඉතා යුහුසුළුව මාධ්‍ය ආවරණය ලබාදුන් බවත් ඒක ඉතා හොඳ දෙයක් බවත් හැබැයි මාධ්‍යයේ වගකීමක් විදියට මධුෂ්ව නිර්මාණය කරපු දේශපාලනඥයන් කවුද? මධුෂ්ව ආරක්ෂා කරන්න මේ රටේ දේශපාලන ආවරණය දුන්නේ කවුද කියන එකත් මාධ්‍ය තුළින් රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා පැවැසීය.
මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (09දා) බළන්ගොඩ ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා මෙසේද කීය.

මාකඳුරේ මධුෂ්ව
අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපි දැක්කා මාධ්‍ය තුළ කතා කරන උදවිය පාපෝච්චරණය කරනවා තමන් මේ සම්බන්ධ කාරණාවලට සම්බන්ධ නැහැ කියලා. අපි කියන්නේ මාකඳුරේ මධුෂ්

නෙවෙයි මෙරටට හානිදායක වෙන විදියට හැසිරෙව්ව පාතාලයට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට ගන්න ඕන. ඒ අත්අඩංගුවට ගන්නවා වගේම ඒ වෙනුවෙන් ආරක්ෂාව දීපු, පාතාලය සමඟ ගනුදෙනු කරපු දේශපාලනඥයන් මේකට අනිවාර්යයෙන්ම වගකිවයුතු බව මේ රටේ ජනතාවට දැන ගැනීමට අයිතියක් තිබෙනවා. මධුෂ්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය මේ රටට හොඳ පණිවුඩයක් ලබා දුන්නා. ඒක හොඳ දෙයක්. හැබැයි මධුෂ්ව අත්අඩංගුවට ගන්නවා දැක්කා වගේම මාධ්‍යයේ වගකීමක් තිබෙනවා මධුෂ්ව නිර්මාණය කළ දේශපාලනඥයන් කවුද කියන එක රටට අනාවරණය කරන්න.

ඒ නිසා මේ ගොනුවෙලා තිබෙන ප්‍රධාන මාතෘකාවේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මධුෂ්ව ඇල්ලීමේ අයිතිකාරයා වීම ගැන අපිට කිසිම වරදක් නැහැ. එතුමාට ඒ ප්‍රසාදය රටේ ජනතාවගෙන් හිමි විය යුතුයි. හැබැයි අපි එතුමට කියනවා ඒ මධුෂ් ඇල්ලුවා වගේම මේ මධුෂ්ලා නිර්මාණය කළේ කවුද? කියන එක රටට හෙළි කිරීමේ වගකීමෙන් බැහැර වෙන්න බැහැ කියන එක යැයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon