මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සැක ඕලුමරා හෙරොයින් සමඟ දැලේ

  👤  2449 readers have read this article !
By mawbima 2019-02-11

වෙන්නප්පුව - ඇම්.ඩී. රවින්ද්‍ර

වෙන්නප්පුව පොලිස් වසම තුළ මිනීමැරුම්, බියවැද්දුම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන චානුක මධුෂාන් නොහොත් "ඕලුමරා" ඇතුළු 12 දෙනකු මත්කුඩු මිලිග්‍රෑම් 2300ක් සමඟ පෙරේදා (09දා) රාත්‍රි වෙන්නප්පුව මූලස්ථාන නිලධාරීන් මඟින් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

සිරිගම්පොළ ප්‍රදේශයේ නිවෙසක මහා පරිමාණයෙන් මත්කුඩු විකුණන බවට බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායම් දෙකක් ඒකාබද්ධව කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම වැටලීමේදී ප්‍රධාන සැකකරුගේ නිවෙස තුළ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 2300ක් පොලිස් බාරයට ගෙන ඇති අතර මත්කුඩු මිලදී ගැනීමට පැමිණ සිටි 43 හැවිරිදි කාන්තාවක් ඇතුළු 11ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාත්තණ්ඩිය, වෙන්නප්පුව වලහපිටිය, හා සිරිගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුහු අවුරුදු 20,21,23,42,44 යන වයස්වල පසුවෙති.

වෙන්නප්පුව පොලිස් වසමේ මීට වසර ගණනාවකට පෙර සිදුවූ මිනීමැරුම් දෙකකට හා සාපරාධී බියවැද්දීම්, ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන චානුක මධුශාන් නොහොත් "ඕලුමරා" රක්ෂිත බන්ධනාගාර ගතවී ඇප මත මුදාහැර සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වෙන්නප්පුව පොලිස් අධිකාරි අර්නස්ට් පෙරේරා මහතාගේ උපදෙස් ඇතිව වෙන්නප්පුව වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හැරල් රොෂාන් මහතාගේ අධීක්ෂණයෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණවීර, මංචනායක, හසිත, සැරයන් ජයසූරිය (34688), කොස්තාපල් රූපවංශ (64618), ජයසංඛ (37911), රජිත (39998), බෝපිටිය (75228), සෝබන් (98807), කාන්තා කොස්තාපල් රුවනි (10152) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

සැකකරුවන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon