සිවු හැවිරිදි දියණිය මරා කලා ඔයට දැමූ බව කියන මව 12දා තෙක් රක්ෂිතයට

  👤  2463 readers have read this article !
By mawbima 2019-02-11

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

සාලියවැව - නීලබැම්ම ජනපදයේ ඕලුමඩුව ගම්මානයේ පදිංචිව සිටි සිවු හැවිරිදි ඩබ්ලිව්.ජී. තෙනුරි තිසාරා දියණියට පහරදී ඝාතනය කර සිරුර කලා ඔයට දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඇයගේ මව වන 21 හැවිරිදි සැකකාරිය පුත්තලම මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දී ඇත.

පසුගිය 08 වැනිදා සවස 3.05 සිට 4.20 දක්වා මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී මෙම රහසිගත ප්‍රකාශය ලබා දුන් අවස්ථාවට මහෙස්ත්‍රාත්වරයා සහ යතුරුලේඛිකාව පමණක් සහභාගි වී ඇත.

සාලියවැව - නීලබැම්ම ජනපදයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. තෙනුරි තිසාරා (අවු. 04) දියණිය පසුගිය 30 වැනිදා සිට අතුරුදන් වී ඇත. ඇය සොයා එදින සිට ආරක්ෂක අංශ සහ ගම්වාසීන් මෙහෙයුමක් දියත් කරනු ලැබූවත් මෙතෙක් පලක් වී නැත. මෙහෙයුම දියත් කළ අය විසින් නීලබැම්ම ජනපදයට ආසන්නයෙන් ඇති විල්පත්තුව වනාන්තරය තුළ මෙන්ම එම ජනපදය ආසන්නයෙන් ගලා බසින කලා ඔයද පරීක්ෂා කර ඇත.

අතුරුදන් වූ දැරියගේ මව විසින් විටින් විට කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් සැක පහළ කළ පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාරිය 08 වැනිදා පෙරවරුවේ පුත්තලම මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී. එහිදී ඇය කියා සිටියේ තමන්ට රහසිගත ප්‍රකාශයක් මහෙස්ත්‍රාත්වරයා වෙත ලබා දීමට ඇති බවය. ඒ අනුව අධිකරණයේ සෙසු නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව සැකකාරිය මහෙස්ත්‍රාත් නිල මැදිරියට කැඳවා ඇයගේ ප්‍රකාශය ලබා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත.
ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව සැකකාරිය පෙබරවාරි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon