වසර 18කට පසු හත්දරු පියකු මැරූ සිවු දෙනකුට මරණ දඬුවම

  👤  2454 readers have read this article !
By mawbima 2019-02-11

මත්තල - ඩී.එන්. ජයසේකර

තිස්සමහාරාම උඩුවිල පුංචි පාලම අසලදී අතින් පයින් හා පොලුවලින් පහරදී 65 හැවිරිදි හත්දරු පියකු මැරූ සැකකරුවන් සිවු දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා මරණ දඬුවම නියම කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ අක්කර අසූව, මෝල කැපුපතාන, උඩුවිල, තිස්සමහාරාමයේ පදිංචි සිවු දරු පියකු වන 43 හැවිරිදි දඩල්ලගේ අමිල තරංග, එක් දරු පියකු වන 41 හැවිරිදි යද්දෙහි ගුරුගේ සුමිත් වසන්ත, දෙදරු පියකු වන 38 හැවිරිදි සුමිත් චින්තක හා අවිවාහක පුද්ගලයකු වන 40 හැවිරිදි ගම්හේවගේ සුනිල් නොහොත් 'පොඩි පුතා' නමැති සැකකරුවන් සිවු දෙනාටය. සැකකරුවන්ගේ පහර කෑමට ලක්ව මියගියේ අක්කර අසූව, උඩුවිල, තිස්සමහාරාම ලිපිනයේ පදිංචිව සිටි 65 හැවිරිදි හත් දරු පියකු වූ ලන්දගේ ජයසේන නමැත්තාය.

සැකකරුවන් සිවු දෙනා 2001 ඔක්තෝබර් මස 06 වැනි දින රාත්‍රි 08.00ට පමණ තිස්සමහාරාම හම්බන්තොට පාරේ උඩුවිල ප්‍රදේශයේ පිහිටි පුංචි පාලම අසලදී මත්පැන් පානය කර අසල නිවැසියකු සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ. එම අවස්ථාවේ මියගිය ලන්දගේ ජයසේන නැමැති අය ඔහුගේ නිවෙස අසල පදිංචිව සිටි අවිවාහක පුද්ගලයකුට රාත්‍රි කෑම රැගෙන මාර්ගයේ ගමන් කරමින් සිට තිබේ. එම අවස්ථාවේ මාර්ගය අසල නිවෙසක සිදුවන ආරවුල කුමක්දැයි බැලීමට ඔහු අත තිබූ විදුලි පන්දම ඒ දෙසට යොමු කර තිබේ.

ඒ අවස්ථාවේ අධික ලෙස බීමතින් සිටි සැකකරුවන් සිවු දෙනා "මොකාද බොල ටෝච් ගහන්නේ" කියාගෙන විත් ලන්දගේ ජයසේන නමැති අයට අතින් පයින් හා පොලුවලින් පහරදී ඇදගෙන ගොස් මාර්ගය අයිනට දමා පලාගොස් තිබේ. එහිදී නිවැසියන් පොලිසිය සමඟ පැමිණ තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලට ඇතුළත් කර පැය කිහිපයකට පසු ඔහු මියගොස් ඇත.

මේ මිනීමැරුම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර වසර 18කට පසු එහි තීන්දුව 08 දින ප්‍රකාශයට පත් කෙරිණි.

එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු තාමර තෙන්කෝන් මහතා පස්වැනි විත්තිකරු සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කළ අතර එකේ සිට හතර දක්වා වූ අනෙකුත් සැකකරුවන් සිවු දෙනාට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවීම හේතුවෙන් සැකකරුවන් සිවු දෙනාට මරණ දඬුවම නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රංගිකා රාජපක්ෂ මහත්මිය සමඟ තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් (91147) සඳරුවන් මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon