පැල්මඬුල්ල පාසලක මිදුලේ කොටසක් සිසුවකුත් සමඟ ගිලා බැහැලා

  👤  2486 readers have read this article !
By mawbima 2019-02-11

පල්ලේබැද්ද - සිසිර පීල්ලදෙණිය

පැල්මඬුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පැල්මඬුල්ල අංක 01 දෙමළ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ මිදුලේ කොටසක් එහි සිසුවකුත් සමඟ ගිලා බැසීමෙන් සිසුවාගේ පාදවලට සුළු තුවාල සිදුවී ඇත.

පාසලට යාබද ඉඩමක මැණික් පතල් කපා පාසල් භූමියට දෝනා හෑරීම නිසා මේ අයුරින් පාසල් භූමිය කාලයක් තිස්සේ ගිලා බැසීම්වලට ලක්වෙන බව එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියෝ පවසති.

සිසු දරුවන්ගේ ආරක්ෂාව සැලැකිල්ලට ගෙන එම ශාලාව තුළ ඉගෙන ගනිමින් සිටි සියලු සිසු දරුවන් ඉකුත් 07දා ආපසු නිවෙස් වෙත හරවා යැවීමට එහි විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.

ගිලා බැසීමට ලක්වී ඇති ස්ථානයේ ඉදිකර ඇති හැටයි විස්ස ශාලාවේ බිත්තිවල පිපිරීම් සලකුණු බොහෝමයක් දක්නට ඇති අතර එහි වටේ ඉදිකර තිබෙන සිමෙන්ති බැමි සමහර ස්ථානවලින් ගිලා බැසීමේ සලකුණුද දක්නට ඇත.

එම ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේ පොළොව යට දෝනා හාරා මැණික් ඉල්ලම් රැගෙන ගොස් ඇති නිසා එම ගොඩනැඟිල්ල කාලයක සිට අවදානම් තත්ත්වයක ඇති බවත් එය සිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් මවුපියෝ බිය පළකරති.

එම නිසා බලධාරීන්ගේ මැදිහත් වීමෙන් තම පාසලේ ගැටලුවට විසඳුමක් ලබා ගැනීම තමන්ගේ අරමුණ බව ඔවුහු කීහ.

මම ශාලාවෙන් එළියට ගිහිල්ලා ආපසු පන්තියට එමින් සිටියා එක පාරටම මිදුල කඩාගෙන පොළොව යටට වැටෙන්න යනකොට කානුවේ බැම්මේ එල්ලිලා බේරුණා. ඒ එක්කම වළේ වතුර පිරුණා යැයි අනතුරට පත් ඩී. වසිධරන් සිසුවා පැවැසීය.

පාසලේ ගිලා බැස තිබුණු ස්ථානය අඩි හයක පමණ විශ්කම්භයකින් යුතු වූ අතර එහි මඩ ජලයෙන් පිරී තිබිණි.

සිසුවා සමඟ පොළොව ගිලා බැස්ස අවස්ථාවේ එහි ගැඹුර අඩි විස්සක් පමණ දකින්නට ලැබුණු බවත් ඉතා සුළු වේලාවක් තුළදී එය මඩෙන් පිරී ගිය බව එහිදී අයෙක් පැවැසීය.

මේ සම්බන්ධව එහි විදුහල්පති මොහාන් රාජ් මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ පැවැසීය. කාලයක් තිස්සේ මේ ප්‍රශ්නය පවතිනවා. අදාළ ස්ථානවලට දැනුම් දීලයි තිබෙන්නේ.

සිසුන් ඉගෙන ගනිමින් සිටියදී දරුවකුට යම් අනතුරක් වේවි කියලා මට බයක් දැනුණා. ඒ නිසා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මෙම අනතුර දැන්නුවා. ඒ අයගේ උපදෙස් මත එම ශාලාවේ ඉගෙන ගනිමින් සිටි සිසුන් එකසිය විස්සක් නැවත නිවෙස් වෙත පිටත්කර හැරීමට පියවර ගත්තා යැයි පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon