සම්පන්දන් - සුමන්තිරන් දෙන්නම අප රැවැට්ටුවා

  👤  2452 readers have read this article !
By mawbima 2019-02-11

මඩුකන්ද - දීපාල් බණ්ඩාර,
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා හා සුමන්තිරන් මන්ත්‍රිවරයා තමන්ට බොරු පොරොන්දු දෙමින් වසර දෙකක් තිස්සේ තමන්ව රැවැටූ බව කියමින් යුද සමයේදී පුද්ගලයන් අතුරුදන් වූවන්ගේ සංගමය විසින් පෙරේදා (09දා) වවුනියාවේදී විරෝධතාවක් දියත් කරනු ලැබීය.යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය කරුණු සොයා බලා එසේ අතුරුදන් වූවන්ගේ පවුල්වලට යම් සාධාරණයක් ඉටු කළ යුතු බවට රජයට බල කරමින් අඛණ්ඩ විරෝධතාවක් දියත් කළ අවස්ථාවේදී රජය සමඟ සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙන බවට මේ දෙදෙනා පොරොන්දු වූ බව එම සංගමය කියා සිටී.

නමුත් යුද සමයේදී පුද්ගලයන් අතුරුදන් වූවන්ගේ සංගමය දින 720ක් පමණ අඛණ්ඩව මෙම විරෝධතාව වවුනියාව නගරය මැද දියත් කළත් රජයෙන් මේ ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාදීම වෙනුවට සම්පන්දන් මන්ත්‍රිවරයාත් සුමන්තිරන් මන්ත්‍රිවරයාත් කළේ රජයෙන් විවිධ වරප්‍රසාද ලබාගෙන පොරොන්දු කඩ කළ බවයි.

අතුරුදන් වූවන්ගේ ඥාතීන් පැවැසුවේ තමන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ සම්පන්දන් හා සුමන්තිරන් වැන්නවුන් දෙමළ ජනතාවගේ ගැටලු පසෙකලා වර්තමානයේ කටයුතු කරන බවයි.

අතුරුදන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරමින් සාකච්ඡා පැවැත්වූවද අදාළ සාකච්ඡා වෙනුවෙන් සුමන්තිරන් හා සම්පන්දන් මැදිහත් වී රජය සාධාරණීකරණය කිරීම සිදු කරමින් සිටින බැවින් තමන්ගේ ගැටලුවට මෙතෙක් විසඳුම් නොලැබී ඇති බවද විරෝධතාකරුවෝ පැවැසූහ. විරෝධතාවට එක්වූ අතුරුදන් වූවන්ගේ ඥාතීන් පැවැසුවේ තමන්ගේ ගැටලුව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් මත විසඳුමක් ලබාදිය යුතු බවට තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කොට ඇති බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමය මැදිහත් වී සිය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ විරෝධතාව පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon