ලංකාවේ ආණ්ඩුව සමඟ වගේම විපක්ෂය සමඟද ඉන්දියාව සබඳතා පැවැත්වීම වැදගත්

  👤  2577 readers have read this article !
By mawbima 2019-02-11

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දේශපාලන සම්බන්ධතාවයේදී යම් අවස්ථාවක රජය හොබවන පාලක පක්ෂය සමඟ පමණක් නොව විපක්ෂය සමඟද සම්බන්ධතා පවත්වා ගැනීම වැදගත් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියයි.

විපක්ෂ නායකවරයා සඳහන් කර සිටින්නේ එවිට පාලක පක්ෂය වෙනස් වී බිහි වන නව රජයක් යටතේ වුවද දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වාගත හැකි බවයි.

තමන් 2005 වසරේදී ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව දෙරට අතර සබඳතා තර කර ගැනීමට විශාල උත්සාහයක් ගත් නමුත් එසේ තර කරගත් සම්බන්ධතා නැවත වරක් 2014 වසරේදී ද්විපාර්ශ්වික සම්බන්ධතා විශාල බිඳ වැටීමකට ලක්වූ බවත් පෙන්වා දෙන විපක්ෂ නායකවරයා සඳහන් කර සිටින්නේ දෙරට අතර පැවැති සන්නිවේදනයේ දුර්වලතා ඊට හේතුවන්නට ඇති බවයි.

පෙරේදා (09දා) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැති හින්දු පුවත්පත විසින් සංවිධානය කළ සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මෙම කීර්තිමත් අවස්ථාව සඳහා මට ආරාධනා කිරීම ගැන හින්දු පුවත්පතට මා ස්තුතිවන්ත වෙනවා. අපට මනා අනේ‍යාන්‍ය අවබෝධයක් ලබාගත හැක්කේ මෙවැනි සංවාදයන් මඟින් බවයි මා විශ්වාස කරන්නේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනාගත සම්බන්ධතාවන් කෙසේ සකස් විය යුතුදැයි අදහස් කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නට මා කැමැතියි.

"ඉන්දියාව අපේ නෑදෑයෙක්" ඒක මා නිතරම කියන දෙයක්. අප අතර පවතින බැඳීම ඓතිහාසිකයි. සුවිශේෂයි. භූගෝලීය වශයෙන් ඉතා සමීප රටවල් දෙකක් වන නිසා අසල්වැසියන් ලෙස සංස්කෘතික ඇතුළු වෙනත් වටිනාකම් රැසක් අප හුවමාරු කරගෙන තිබෙනවා. එක පවුලක සාමාජිකයන් අතර වුවත් සිදුවන කටයුතු හැමවිටම සාමකාමී වෙන්නෙ නෑ. ප්‍රශ්න මතුවීම අනිවාර්යයි. ඒ මිහිරි හෝ අමිහිරි මතකයන් ගැන කතා කිරීම මෙහිදී මගේ අදහස නෙවෙයි. මනා සංවාදයන් මඟින් වැරදි වැටහීම් ඇතිවීම අවම කරගත හැකිය යන්නයි මා පෙන්වා දීමට උත්සාහ කරන්නේ.

අතීතයේදී ආක්‍රමණිකයන් මෙන්ම ආගමික නායකයන්ද අපේ රටට පැමිණ තිබෙනවා. බුදුන් වහන්සේ තෙවරක් අප රටට වැඩම කිරීම ශ්‍රී ලංකාවේ වැදගත්ම ඉපැරණි ඓතිහාසික සිදුවීම් අතරට අයත් වෙනවා. ඉන්පසු මිහිඳු මහ රහතන් වහන්සේ හා උන්වහන්සේගේ සොයුරිය සංඝමිත්තා තෙරණියගේ ආගමනයන් ප්‍රධානයි. අපේ රටේ සංස්කෘතිය හා ජීවන රටාව කෙරෙහි නොමැකෙන පරිවර්තනයක් ඇති කිරීමට මහින්දාගමනය හරහා ලැබූ ධර්ම දානයත් ඉන්පසු පැමිණි ශිල්ප ක්‍රමයත් හේතු වුණා. පසුකාලයක මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී ව්‍යාපාරයත් අපේ රටට විශාල බලපෑමක් ඇති කළා.

අප දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සැමවිටම යහපත් වුණා යැයි කියන්නට බැහැ. නමුත් අප ඒ සියල්ලෙන් උකහාගත යුත්තේ රටවල් දෙකකට ඵලදායී වන ලෙස, නොබැඳි පිළිවෙතට අනුව, එකිනෙකට රටේ ස්වෛරී භාවයට ගරු කරමින්, අනෙක් රටේ අභ්‍යන්තර කටයුතුවලට අත නොපොවන, සාමකාමී සහජීවනයක් පවත්වාගනු ලබන්නේ කෙසේද යන කාරණයයි.

අප පසු කළ අඳුරු සමයන් ගැන අද මට කතා කළ හැකියි. ආත්මාර්ථකාමීන් කිහිපදෙනකුගේ බලලෝභී අරමුණු මුදුන්පත් කරගනු පිණිස, අහිංසක ජීවිත දඩමීමා කරගැනීම නිසා අප රාජ්‍යයන් දෙකටම ත්‍රස්තවාදයට හා භීෂණයට මුහුණ දීමට සිදුවුණා. ඔබ සියල්ලන් මෙතැනට පැමිණ සිටින්නේ අපගේ සබැඳියාවේ ඉතිහාසය ගැන දැන ගැනීමටයි.

1980 ගණන්වලදී දෙමළ ඊළාම් කොටි සංවිධානයට ඉන්දියාව ආරක්ෂිත භූමියක් වූ සැටිත් පසුව එම සංවිධානය විසින්ම අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළ සැටිත්, ඉන්දියානු සාම සාධක හමුදාවේ 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්වූ සැටිත් ඔබ දන්නවා ඇති. ඇත්තෙන්ම 1980 වකවානුව අප දෙරට අතර හොඳ හිත දැඩිව පලුදු වූ සමයක්. ඉදිරියේදී නැවතත් එවැනි අමිහිරි යුගයක් ඇති නොවන පිණිස ඒ අඳුරු යටගියාව මතකයේ තබාගැනීම වැදගත් වෙනවා. 1980 ගණන්වලදී පමණක් නොව 2014 වර්ෂයේදීත් අප දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා දුර්වල වීමට කරුණු සිදු වුණා.

1980 දශකයට පෙර අප දෙරට අතර ඉතාම සවිමත් සබඳතාවක් පැවතුණා. ඉන්දියාවේ ශ්‍රී මතී ඉන්දිරා ගාන්ධි මැතිනියත් ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් අතර තිබුණු අනේ‍යාන්‍ය අවබෝධය හා මිත්‍රත්වය අති විශිෂ්ටයි. ඒ දෙදෙනාම කාන්තාවන් වීමත්, ඔවුන් සහ ඔවුන්ගේ පවුල් අතරත් පැවති පෞද්ගලික මිත්‍රත්වයත්, ඔවුන් නායකත්වය දුන් පක්ෂවල දේශපාලනික ප්‍රතිපත්ති හා දෙරටේ රාජ්‍යයන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති අතර සාම්‍යයත් නිසා ඒ යුගය අප දෙරට අතර සබඳතාවන්ගේ ස්වර්ණමය අවධිය ලෙස සලකන්නට පුළුවන්. 1977 දී ඉන්දීය ජනතා පක්ෂය බලයට පත්වීමෙන් පසු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එම පක්ෂය සමඟ සමීපව කටයුතු කළා.

ඇත්ත වශයෙන්ම, 1979 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවට පැමිණි අගමැති මොරාජ් දේසායි මහතා පාර්ලිමේන්තුව අමතමින් පෙන්වාදෙනු ලැබුවේ යටත්විජිත සමයේ සිට දෙරට අතර පැවතෙන ඇතැම් ගැටලු නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡා කිරීමේ වැදගත්කමයි. දෙරටම අනේ‍යාන්‍ය සහජීවනයේ නව යුගයක එළිපත්ත මත සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා.

ඉතිහාසය විසින් අපට පෙන්වාදෙනු ලබන්නේ දෙරට අතර මනා අනේ‍යාන්‍ය සබැඳියාවක් පවත්වාගැනීම සඳහා අනුගමනය කරන දේශපාලන ප්‍රතිපත්ති අතර සමානකම් තිබීම අත්‍යවශ්‍ය නොවන බවයි. නිදහස ලැබීමෙන් පසු ලංකාව වඩාත් නැඹුරු වුණේ බටහිර රටවල දක්ෂිණාංශික ප්‍රතිපත්තිවලටයි. නමුත් නේරුතුමාගේ නායකත්වය යටතේ වඩාත් ඉන්දියාව අනුගමනය කළේ සමාජවාදයට නැඹුරු නොබැඳි පිළිවෙතක්. ඒ යුගයේත් අප දෙරට අතර සබඳතාවන් ඉතාම ඉහළ මට්ටමක පැවතුණා.

1980 ගණන් සිට දෙරට අතර සබඳතාවන් බොහෝ දුරට පිරීහී තිබූ අතර, මා 2005 වසරේ ජනාධිපති ධුරයට පත් වූ පසු අප දෙරට අතර සබඳතා තර කර ගැනීමට විශාල උත්සාහයක් ගත්තා.

2014 වසරේදී නැවත වරක් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා විශාල බිඳවැටීමකට ලක්වුණා. දශකයක් පමණ ඉන්දියාව පාලනය කළ පක්ෂය මැතිවරණයෙන් පරාජය වී බලයට පත් පක්ෂය සමඟ යහපත් සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට අපේ රටට හැකිවුණේ නෑ. අප දෙරට අතර සන්නිවේදනයේ පැවැති දුර්වලතා මෙයට හේතු වන්නට ඇති. එවැනි අර්බුදකාරී අවස්ථාවක සන්නිවේදනය අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. රටවල් දෙක අතර වැරදි වැටහීම් ඇති වීමට හේතු වූයේ ඒ දුර්වලකමයි.

ඉදිරියේදී එසේ නොවීමට සුදුසු යාන්ත්‍රණයක් අප ඇති කරගත යුතුයි. යම් අවස්ථාවක රජය හොබවන පාලක පක්ෂය සමඟ පමණක් නොව, විපක්ෂය සමඟද සම්බන්ධතාවන් පවත්වා ගැනීම වැදගත්. පාලක පක්ෂය වෙනස් වී බිහි වන නව රජයක් යටතේ පවා ද්විපාර්ශ්වික සබඳතාවන් අඛණ්ඩව පවත්වාගත හැකි වන්නේ එසේ කළහොත් පමණයි.

වර්තමානයේ ලෝක දේශපාලන තත්ත්වය පෙරට වඩා සංකීර්ණ හා ව්‍යාකූලයි. ඒ නිසා රටවල් අතර සබඳතාවන් පවත්වා ගැනීම සඳහා තවදුරටත් සාම්ප්‍රදායික ක්‍රම පමණක් සෑහෙන්නේ නෑ. නායකයකුගේ මුවින් වැරදීමකින් ගිලිහෙන අනිසි වචනයකින් පවා රටවල් දෙකක් අතර හොඳ හිත පලුදු වන්නට පුළුවන්. ගමනාගමනය, තාක්ෂණය හා සන්නිවේදනය නිසා ලෝකය විශ්ව ගම්මානයක් බවට හැකිළී තිබෙනවා. මේ සමීප භාවය නිසා රටවල් දෙකක් අතර සබඳතාවන්ට ඒ රටවල් දෙක පමණක් නොව තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීම් පවා නොසලකා හරින්නට බැරි තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අනාගතයේ රටවල් අතර සබඳතාවන් පවත්වා ගැනීම වඩාත් සංකීර්ණ වන බවයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයත් වර්තමානයේ හමුදා ශක්තිය මත පමණක් ර¼දා පවතින්නේ නැහැ. මේ කාරණය දෙස නිවැරදි දෘෂ්ටි කෝණයකින් බැලීම අවශ්‍යයි. අප දෙරට අතර භූගෝලීය වශයෙන් ඇති අතිසමීප භාවය නිසා, අපගේ රටේ භූමිය අනෙක් රටට හානිකර කටයුත්තකට භාවිත කිරීමට පිටස්තරයන්ට ඉඩ නොදීමට දෙරටම වගබලාගත යුතුයි. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව තහවුරු කිරීම අප දෙරටේම ආරක්ෂාවට හේතු වන නිසා ඒ පිළිබඳ රටවල් දෙක අතර නිරන්තර සන්නිවේදනයක් පවත්වාගැනීමට ක්‍රියාකළ යුතුව තිබෙනවා.

නොසැලෙන දේශපාලන නායකත්වයන් යටතේ අප දෙරටේම ශක්තිමත් රජයන් පැවතීම හා දේශපාලන ස්ථාවර භාවය ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීමට වැදගත් සාධකයක්. රටක ආර්ථික ස්ථාවරත්වය ගැන සලකන විට එම රටේ ස්වාභාවික සම්පත් හා ජාතික දේපළ යහපත් ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි රජයේ සැලකිල්ල යොමු විය යුතුයි. මෙම සම්පත් විකිණීමට යම් රජයක් උත්සාහ ගතහොත් ජනතාව අතර නොසන්සුන්තාවක් ඇතිවිය හැකියි. මෙවැනි ජාතික සම්පත් දෙරටට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ඒකාබද්ධව යොදාගත හැක්කේ කෙසේදැයි ගවේෂණය කිරීම නුසුදුසු යැයි මෙයින් මා අදහස් කරන්නේ නැහැ.

අප රටේ බහුතරය බෞද්ධයන් නිසා විදෙස් සංචාරයේ යෙදීමට අදහස් කරන ශ්‍රී ලාංකිකයන්, ඒ සඳහා ඉන්දියාව වෙත වැඩි වශයෙන් යොමු වන ආකාරය දකින්නට පුළුවන්. මෙසේ සංචාරයේ යෙදෙන පුද්ගලයන්ගේ සිතුම් පැතුම් හඳුනාගැනීමට අප සමත් විය යුතුයි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේදී මේ කරුණත් වැදගත් යැයි මා සිතනවා. ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ නගර දක්වා යොමු කර ඇති ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉතා විශාලයි.

මේ සන්දර්භය තුළ අප දෙරටෙහි සමාන අදහස් දරන හෝ සමාන කාර්යයන්හි නියැළෙන පුද්ගලයන් මෙන්ම ආයතන අතරත් සබඳකම් තර කර ගැනීම වඩාත් ඵලදායක බව මගේ හැඟීමයි. අධ්‍යාපනය, ව්‍යාපාරිකයන්, සමාජ - සංස්කෘතික - ආගමික ප්‍රජාවන්, පර්යේෂණ ආයතන හා අප ගෞරවනීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ඒ අතරින් කිහිපයක්. දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර නිල වශයෙන් පවතින සම්බන්ධකම් පමණක් ප්‍රමාණවත් නැහැ.

අප අතර ඇති පරතරයන් පියවා ගනු පිණිස මෙනිසා සාකච්ඡා හා සම්මන්ත්‍රණ අවශ්‍ය වන්නේ ඒ නිසයි. මෙවැනි සම්බන්ධතා ගොඩනඟාගැනීමෙන් අපට අනාගතයේ කුමක් හිමි වෙනවාදැයි හරියටම පුරෝකථනය කරන්න බැහැ. අප අතර ඇති සම්බන්ධතාවේ පදනම් දෙදරවා හැරීමට පසුගිය කුණාටුවලට හැකිවුණේ නැහැ. දැන් අප කළ යුත්තේ මානව සම්පත් හා වේගයෙන් දියුණු වන තාක්ෂණය දෙපාර්ශ්වයේම සුබසෙතට ඉවහල් වන අයුරින් වැරගැන්වීමයි. මේ ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් මැතිවරණ වර්ෂය නිසා ශක්තිමත් නායකත්වයක් ඇතිකර ගැනීමට මේ අවස්ථාවේ දෙරටම කල්පනා කළ යුතුයි. දෙරට අතර වඩාත් සවිමත් සබඳතාවක් ඇතිකර ගැනීමට අපට හැකි වන්නේ එවිටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon