ඊනියා ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලනිප-එජාප මන්ත්‍රිවරුන් 93කගේ කරල පැහුණා

  👤  2611 readers have read this article !
By mawbima 2019-02-11

ඊළඟ මහ මැතිවරණයේදී මේ ආණ්ඩුවත් පරාජය කරලා රටට දරන්න පුළුවන් ඇමැති මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කර ගත යුතුයි. ඒ සඳහා අලුත් බලවේගයක් ගොඩනැඟීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්' යැයි ජනතා විමුක්ති පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස බේරුවලදී කීවේය.

බේරුවල ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් සංවිධානය කළ ජනහමුවක් අමතා ඒ මහතා මෙසේද කීවේය.

රනිල් වික්‍රමසිංහ ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න නෙවෙයි තමන්ගේ අගමැතිකම් ආරක්ෂා කරගන්න කියල අපි කිව්වා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරුවෙක් බව අපි රටට හෙළි කළා. එහෙම කියලා මාස දෙකක් යන්න පෙර වික්‍රමසිංහ මහතා තමන්ගේ දේශපාලන නිරුවත රටටම පෙන්නුම් කරමින් ඉන්නවා.

රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මේ ඊනියා ජාතික ආණ්ඩු යෝජනාවක් ගෙන ඒමට කල්පනා කිරීමම සදාචාර විරෝධියි. ඔවුන් කියනවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ ඇමැතිවරුන් 66ක් හිටිය කියලා. ඒක වැරැදියි. ඒ නිසා ජනතාව ඒ ආණ්ඩුව ගෙදර යැව්වා. රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් අටවා ගන්න යන්නේ මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රිවරයාව පෙන්වලයි. මුස්ලිම් කොංග්‍රසයේ ඉතිරි මන්ත්‍රිවරුන් සියලු දෙනා පත්වුණේ එක්සත් ජාතික පෙරමුණෙන්.

ඇමැතිකම් වැඩිකරගන්නෙ නැතිව රට හදන්න බැහැ කියලා දැන් කියෙනවා. 2015 සැප්තැම්බර් මාසෙ ඉඳලා පත්වූ ජාතික ආණ්ඩුවෙන් රටට සිදු වුණේ මොකක්ද කියලා මේ රටේ ජනතාව හොඳට දන්නවා. 2015 ඉඳලා 2017 අවසාන වෙන කොට රුපියල් බිලියන 3000ක් අලුතින් ණය අරගෙන තියෙනවා. රුපියල් බිලියන 300ක් පොලිය ගෙවලා. ඒ අවුරුදු තුනට ජනතාවගෙන් රුපියල් බිලියන 4500ක් බදු විදියට එකතු කරගෙන තියෙනවා. ජනතාව මත පටවන බද්ද අවුරුද්දෙන් අවුරුද්ද ඉහළ දානවා. 2015දී යාන්තම් සියයට 05ක් වූ මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 2017 අවසන් වන විට සියයට 3.8 දක්වා පහතට ඇදලා දැම්මා. රුපියල් 130ට තිබුණ ඇමෙරිකානු ඩොලරය රුපියල් 160 දක්වා අවප්‍රමාණ කළා. ජාතික ආණ්ඩුව මේ රටේ ජනතාවට ලබා දුන්න සහන මේවායි.

ජාතික ආණ්ඩුව හදනකොට කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනැල්ලා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලයි. අලුත් මැතිවරණ ක්‍රමයක් ගෙනැල්ලා රට වඩාත් ප්‍රජාතන්ත්‍රීයකරණය කරනවා කිව්වා. අන්තිමට ගෙනාව ව්‍යවස්ථාවකුත් නැහැ. මේ ආණ්ඩුවෙ අවුරුදු හතරේදී නටපු නැටුමකුත් නැහැ. බෙරේ පළුවකුත් නැති තත්ත්වයක් උදා කළා.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් 30 දෙනකුට සීමා කර තිබූ ඇමැතිවරුන් ගණන සහ 40කට සීමා කර තිබූ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන අනූ තුනක් දක්වා වැඩි කර ගත්තෙ ඔය ඊනියා ජාතික ආණ්ඩුවෙනුයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජනතාවට කොකා පෙන්නුවා. එජාප - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 93 දෙනකුගේ කරල පැහුණා.

මහින්ද - සිරිසේන දින 53 කුමන්ත්‍රණය පරාජය කරන්න ජවිපෙ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට රනිල්ගේ 'පජාත' ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කරන එක කජ්ජක් නෙවෙයි.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon