මේ ගෙවෙන්නේ ජඩ දේශපාලනයේ අන්තිම දස වසරයි

  👤  2744 readers have read this article !
By mawbima 2019-02-11

මේ රටේ වංචනික, ජඩ, ප්‍රෝඩාකාර, රැවටිලිකාර, මිනිහා ගැන නොහිතන දේශපාලනයේ අන්තිම දස වසර ගෙවෙමින් පවතිනවා.' යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

'සමාජජාලා වෙබ් අඩවිවල මේ දවස්වල ලොකු මේවා එකක් යනවා. නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මධුෂ්ගෙ සල්ලි අරගෙන ව්‍යාපාර පටන් අරගෙන කළු සල්ලි සුදු කරනවා කියලා. මන්ත්‍රිතුමාල දකින්න ඇති කියල මම විශ්වාස කරනවා.'

'මුජිබර් මන්ත්‍රිතුමා, මාකඳුරේ මධුෂ් මාකඳුරේ නෙවි. කඹුරුපිටියෙ. කඹුරුපිටියෙ, ගතාරෙ. වැලිහේන්ගොඩ කියන කුට්ටියෙ තමයි මධුෂ්ගෙ ගම තියෙන්නෙ. මගේ පාසලේ ඉඳල කිලෝමීටර් එකහමාරයි දුර.'
මම නැවතිල හිටියේ, මධුෂ්ලගෙ ගම තියෙන්නෙ වැලිහේන්ගොඩ කුට්ටියෙ, මගේ ගම තිබ්බෙ. මගේ මාමගෙ ගෙදර තිබුණෙ වැලිහේන්ගොඩ කුට්ටියත් එක්ක කුඹුරුයායක් තිබුණා කුඹුරු යායත් එක්ක තිබුණ බෝගහවත්ත කියන කොටසෙ. මම උසස් පෙළ කළේ කඹුරුපිටියෙ නාරන්දෙණිය ජාතික පාසලේ.

අපේ ගමේ හිටිය විනීතා සමරසිංහ ගුණසේකර කියන කාන්තාවක්. එතුමිය විවාහ වුණා දමිළ තරුණයෙක් එක්ක. පසුකාලීනව කොටි එල්ටීටීඊ සංවිධානයේ පොලිස්පතිවරයා බවට පත්වුණෙත්, දේශපාලන අංශයේ නායකයා බවට පත් වුණෙත් නඩේෂන් කියන කොටි දමිළ තරුණයා තමයි. ඒ තරුණයා තමයි නඩේෂන් බවට පත් වුණේ. එල්ටීටීඊ සංවිධානයේ. හැබැයි නඩේෂන් විවාහ වෙලා හිටියෙ අපේ ගමේ හිටිය විනීතා සමරසිංහ ගුණසේකර එක්ක.

එල්ටීටීඊ සංවිධානය කොටි ත්‍රස්තවාදය පරාදෙට පත් කළාට පස්සෙ, විනීතා සමරසිංහගේ ගෙදර මිනිස්සුන්ට අපි ගල්ගහලා එළෙව්වෙ නෑ. විනීතා සමරසිංහ කොටි සංවිධානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලන නායකයාගෙ බිරිය කියල අපි ඒ මිනිස්සුන්ගෙ මරණයට, මඟුලට, පිරිත් ගෙදරට නොගිහින් හිටියෙ නෑ.

මුජිබර් මන්ත්‍රිතුමා මට මතකයි, වේලුපිල්ලෙ ප්‍රභාකරන් මරුණට පස්සෙ මම එතකොට ස්වාධීන රූපවාහිනියෙ, ප්‍රභාකරන්ගෙ තාත්තා එක්කරගෙන ඇවිල්ල පනාගොඩ රෝහලේ ප්‍රතිකාර කරනවා. මට මතකයි මම ඇස් දෙකෙන් දැක්කා. ප්‍රභාකරන්ගෙ තාත්තා මැරිච්ච වෙලාවෙ හමුදා සෙබළියො ඉකිගගහ ඇඬුවා. ඉකි ගගහ ඇඬුවා ඒ ප්‍රභාකරන්ගෙ තාත්තා මැරිච්ච වෙලාවෙ.

මම මධූෂ්ගේ
මළගෙදරට යනවා

'මම සහභාගි වුණේ මාකඳුරේ මධුෂ්ගෙ මඟුල්ගෙදරට පාටියකට නෙවෙයි. මම ගියේ මම පුංචිකාලෙ ඉඳල දන්න මගේ තාත්තා කඹුරුපිටියේ ආ¼දාපාන රෝහලේ අවුරුදු 17ක් රෝහල් කම්කරුවෙක්. මගේ තාත්තා වැඩ කළේ කඹුරුපිටිය රෝහලේ, ඒ අවට ඉන්න මිනිස්සු කැත කුණු සෝදපු එක තමයි මගේ තාත්තා වැඩ කළේ. මගේ තාත්තාත් එක්ක ලොකු සම්බන්ධතාවක් කඹුරුපිටියට තිබුණා. ඊට පස්සේ මම කඹුරුපිටියෙ ඉස්කෝලෙට ආවා. මම ඉගෙන ගත්තා. කඹුරුපිටියෙ මිනිස්සු අපට අසීමිතව ආදරය කළා. 'මධුෂ්ගෙ මැරකම් හරි, ඔහුගේ තියෙන පාතාලකම් හරි ඔහුගේ වැඩක්. මගේ තියෙන මනුස්සකම ගරු මන්ත්‍රිතුමා මගේ වැඩක්. මම මේ පාර්ලිමේන්තුවේ කියනවා මධුෂ්ගෙ තාත්තගේ මළගෙදරට ගියේ මධුෂ් නිසා නෙවෙයි. ඒ අවට අපිත් එක්ක ජීවත්වුණු අපේ සහෝදරයො, ඥාතියො හිතවත්තු නිසා. මම මේ වෙලාවෙ කියන්නව මධුෂ් මැරුණොත් මධුෂ්ගෙ මළ සිරුර ගෙනැල්ලා ඒ ගතාරේ තිබුණත් මම ඒ මළගෙදරටත් යනවා. ඒකත් මගේ මනුස්සකම. ඒ වෙන එකක් නෙවි. ඒ මගේ මනුස්සකම නිසා.

ඒ එක්කම මම කියන්න ඕන, මට මතකයි රන්ජන් රාමනායක ගරු මන්ත්‍රිතුමා මහ ලොකුවට දූෂණ, වංචා, අක්‍රමිකතා හොයන, කියන, කතා කරන මගේ කලා ලේ තිබිච්ච මිනිහෙක්. ඒ එතුමා හිතන විදිය හා පතන විදිය.


ඊට පස්සේ රන්ජන් රාමනායක මහත්තයත් දාල තිබ්බා, ෆේස්බුක් වෝල් එකේ සමාජ ජාලයේ නිරෝෂන් ප්‍රේමරත්නගෙ ට්‍රෙන්ඩි කියල කඩයක් දැම්මා. ඒ ට්‍රෙන්ඩි කඩේ දාන්න ඉඩම ගත්තා. මිලියන 2.2යි පර්චස් එකක්. පර්චස් 43ක් ගත්තා. බිල්ඩින් එක හැදුව කෝටි 8ක් සම්පූර්ණ වියදම්. කෙහෙන්ද කෝටි 8ක් නිරෝෂන් ප්‍රේමරත්නට ඒ ඉඩම ගන්න.

මං පදිංචි වෙලා මගේ ගමේ අවුරුදු 34ක්. අපේ ගෙදරට තාම ඔප්පුව නෑ. අවුරුදු 34ක් පදිංචි වෙලා. අපේ ගමේ පවුල් 58යි ඉන්නේ. ඒ 58 කාටවත් ඔප්පුවක් නෑ. මට ඕනනම් ඒ ඔප්පුව ගන්න තිබුණා. හැබැයි අනෙක් ගමේ ඉන්න 58ටම ඔප්පුව හම්බ වෙන දවසට තමයි අපේ ගෙදර ඔප්පුව ගන්නෙ. ඒක තමයි ඇත්ත.

ලංකාවේ කොහේවත් මට ඉඩකඩම් නෑ. මම මේ ව්‍යාපාර පටන්ගන්න මේ බිල්ඩින් එක ගත්තෙ කුලියට. මේකෙ අයිතිකාරය ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. වෛද්‍යවරයෙක්. කුලිය ලක්ෂ 5යි. මම මේක කුලියට අරගෙන කුලිය ගෙවල අරගෙන මුලින්ම කීමනි ගෙවල මාස හයක් තිබුණා ව්‍යාපාරය පටන් ගන්න සල්ලි නැතිව. ඊට පස්සේ මම ඇවිල්ල කතා කළා. පාර්ලිමේන්තු ලංකා බැංකුවට කතා කළා. මම මුලින් කතා කළා. මට සල්ලි ටිකක් ඕන. මට වත්කම් නෑ. මේක කරගෙන යන්න. මේ ව්‍යාපාරය කරගෙන යන්න සල්ලි ටිකක් ඕන කියලා.

ඒ සැරේ කිව්වා. එහෙම ණය දෙන්න බෑ කිව්වා. එහෙම ණය දෙන්න විදියක් නෑ කිව්වා. ඊට පස්සේ මම දහ අතේ කල්පනා කරලා මගේ මිත්‍රයෙක් හිටියා තලවතුගොඩ සංගීත් කියලා. මම තලවතුගොඩට ඇවිල්ල අවුරුදු 17ක් මගේ යාළුවත් හිටියා. මගේ යාළුව අවුරුදු පහකට ඉඩමක් ලියල දුන්නා. අවුරුදු පහකට ලියල දුන්නා මට ලෝන් එක ගන්න. අවුරුදු පහකට ඉඩම ලියල දුන්නා.

ලංකා බැංකුවෙන්, මේ පාර්ලිමේන්තු ශාඛාවෙන් මම ලෝන් එකක් ගත්තා. අදටත් ඒ ලෝන් එක හත්ලක්ෂ විසිපන්දාහක් මාසෙකට මේ පාර්ලිමේන්තුවේ මේ යට පහළ තියෙන ලංකා බැංකුට මම ගෙවනවා. මාසෙකට ලංකා බැංකුවටම ගෙවනවා.

ජවිපෙ තමයි මට
මඩ ගැහැව්වෙ

ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයො හිටිය නම් මම කැමැතියි. අනුර කුමාර දිසානායක මැතිතුමා, විජිත හේරත් මහත්තයල ඊට පස්සේ බිමල් රත්නායක මහත්තයල මෙතැන හිටියනම් කැමැතියි.
ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයො හිටියනම් මම කැමැතියි.

මං උදේ පාන්දර අනුර කුමාර දිසානායක මහත්තය ළඟට ඇවිල්ල, එතුමාගේ පුටුව ළඟ ඉඳන් වාඩිවෙලා එතුමාට වචන ටිකක් කිව්වා.

ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මඩ හැදුවේ. නිර්මාණය කළේ. ජනතා විමුක්ති පෙරමුණ. අපි කවදාවත් හොරකම් කරල නෑ. ඕ ලෙවල් පාස්වෙන කොට මාවරල පොළේ නාට්ටාමි වැඩේ කරනවා. මගේ ගෙදර පස්දෙනෙක් ඉස්කෝලේ ගියේ නෑ. හතර වසරෙන්, පහ වසරෙන් නතර වුණා. ඉස්කෝලෙ යන්න ආර්ථිකයක් තිබුණෙ නෑ.

පාරෙ බැහැලා යන කොට බෝක්කු උඩ පාර අයිනේ ඉන්න මිනිස්සු ගල්වලින් ගැහුවා. ගල්වලින් ගහලා මගේ
කාලේ සම්බන්ධ විවිධ දේවල් කියල ගල්වලින් ගැහුවා. කවදාවත් ආයි හැරිලා බැලුවෙ නැහැ. ඒ පැත්ත දිහා කවදාවත් බලල නෑ. ඒ බැලුවේ නැත්තේ එතැන නතර වෙන්න වෙන නිසා. කවදාවත් ඒ පැත්ත බලල නෑ.

මම පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වෙන කොට මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයො දෙන්නෙක් මගේ ගමේ ඡන්ද මධ්‍යස්ථානයට යන පාර දිගේ ලයිට් කණුවල මගේ කුලයට සම්බන්ධ බෙරේ එල්ලුවා. බෙරේ එල්ලල මූටද 'සර්' කියන්නෙ කියල ඇහුවා. මූටද 'සර්' කියන්නෙ කියලා ඇහුවා. මාතර දිස්ත්‍රික්කෙ මිනිස්සු ඒක ඇහුවේ නෑ. මාතර දිස්ත්‍රික්කෙ මිනිස්සු මනාප 99,762ක් මට දුන්නා.

මනාප 99,762ක්. මං දේශපාලනයට එනකොට මට මගේ තාත්තට කියල ආපු වචනයක් තිබුණා. මගේ තාත්තා මට කිව්වා පුතේ අපට දේශපාලනේ හරියන්නෙ නෑ කියලා. අපේ තාත්තට මං වචනයක් කිව්වා.

මම දේශපාලනේ කරන කාලෙ මම තීන්දු කරලා ඉවරයි කීවා. මං දේශපාලනේ කරන්න කොච්චර කාලයක්ද කියලා. ඒ මං තීන්දු කරපු කාලෙන් පස්සෙ එක දවසක්වත් මං දේශපාලනේ කරන්නෙ නෑ. ඒක තමයි ඇත්ත. කවදාවත් දේශපාලනේ කරන්නෙ නෑ.

මේ පාර්ලිමේන්තුවේ මං එක ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් එක්ක අද කතා කළා. මේ ව්‍යාපාර පොදු කාරක සභාව පාර්ලිමේන්තුවට ආපු වෙලාවෙ. මම ඇහුව 'සර්' ලංකාවේ දේශපාලනේ ඊළඟට වෙන්න ඕන මොකක්ද කියලා. එතකොට කිව්වා පුතේ මේකෙ ඉන්න ගොඩක් හදන්නෙ හම්බවෙන මොකක් හරි ව්‍යාපෘතියකින් තමන්ට කීයක් ගහගන්න පුළුවන්ද කියලා බලන එකයි. මුලින්ම කරන්නෙ මුජිබර් මන්ත්‍රිතුමා පළමුවෙන්ම කීයක් ගහන්න පුළුවන්ද කියල බලන එක.

මධුෂ්ලා බිහිවීම
නතර කරමු

ඊට පස්සේ තමයි ව්‍යාපෘතිය හදන්න හිතන්නෙ. ඔන්න දුන්නු උත්තරේ. මට මධුෂ්ව පෝෂණය කරන්න ඕන නෑ. මට මධුෂ්ව සාධාරණීයකරණය කරන්න ඕනත් නෑ. හැබැයි මධුෂ්ල මේ මහපොළොවේ නිර්මාණය වන එක නවත්වන්න ඕන. මේ මහපොළොවේ තුන්වැනි පන්තියෙන් බිහිවන මධුෂ්ල බිහිවෙන එක නවත්වන්න ඕන.

වේලුපිල්ලේ ප්‍රභාකරන් කෙනෙක් බිහිවුණා. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ටිකක් විනාශයෙන් විනාශයට පත්වුණා. හැබැයි අපි අවසානයේ හිතුවද බැලුවද කවුද නිරීක්ෂණය කරල කිව්වේ. වේලුපිල්ලේ ප්‍රභාකරන්, බිහිවෙන්න හේතුව මේකයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් බිහිවුණාට පස්සේ ක්‍රියාත්මක වුණේ මේකයි. වැරැද්ද වුණේ මෙතැනයි. වැරැද්ද හඳුනාගන්නෙ කවුද? වැරැද්දක් හඳුනාගන්න බැරි වුණා. අපි තාම කතාකරනවා. උස් මිටිකම් කතා කරනවා. මේ තාම ජාතිවාදයක් ගැන කතා කරනවා. මේ රටේ අත්හැරුණු ප්‍රශ්නයක් තියෙනවා. ජාතික ප්‍රශ්නයක් තියෙනවා.

මගේ ගම මාවරල. මාවරල ගමේ අවුරුදු හතේ දමිළ කෙල්ලට කතා කරන්නේ 'ආච්චි' කියලා. 'ආච්චි' මං කිව්වේ මම ඡන්දෙ ඉල්ලන කොට ලයිට් කණුවල එල්ලුවෙ බෙර. මගේ සීයා දළදා වහන්සේට දවුල් ගහපු එක මට ගෞරවයක්. කාටහරි ඒක නොගැළපුණාට ප්‍රශ්නයක් නෑ.

මේ රටේ මම මේක කියන්නෙ වෙන මොකකටවත් නෙවෙයි. කොහේ හෝ තැනක ඉඳල මේ රටේ හැදෙන්න ඕන. හැදෙන්න තැනක් පටන් ගන්නවා.

මධුෂ්ව නිර්මාණය කළේ කවුද?

මාකඳුරේ මධුෂ්ලා පිට උදවු ගත්තා. වැඩ කරගත්තා. වැඩ කෙරෙව්ව මිනිස්සු ඕන තරම් මේ පාර්ලිමේන්තුවේ ඇති. මම කියන්නේ මධුෂ් මේ මහපොළෙවේ කරන්න ඕන එක දෙයක් තියෙනවා. මධුෂ් එල්ලලා මැරුවත් විදුලි පුටුවේ තියලා මැරුවත් ඒක නොවුණත් මධුෂ් කවදාහරි මේ මහ පොළොවෙ මැරෙනවා. කොහේ හරි මධුෂ් මැරෙනවා. හැබැයි මධුෂ්ට කරලා යන්න පුළුවන් එක දෙයයි. ප්‍රභාකරන්ගෙන්වත් අපට දැනගන්න බැරි වුණ එක, කොතැන හරි තැනක ඉඳගෙන අනිවාර්යෙන්ම මේ මහ පොළොවට කියන්න ඕන කවුද උදවු කළේ, කොහොමද නිර්මාණය වුණේ, කොහොමද හේතුව මධුෂ්ව මේ මහ පොළොවෙ නිර්මණය කළේ කියන එක.

මළගෙදර ගිය මට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ගැහුවා මධුෂ් එක්ක සම්බන්ධයි කියලා. ජවිපෙ සහෝදරවරු, බිමල් රත්නායක මන්ත්‍රිතුමා මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන කිව්වා මධුෂ්ගේ මළ ගෙදර ගිය අය ගැන හොයන්න ඕනෑ කියලා. මට මධුෂ්ව සුද්ද කරන්න ඕන නෑ. කොහොමද මධුෂ්ව නිර්මාණය වුණේ කියන එක හොයන්න ඕන.

මධුෂ්ගේ අම්මා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකාවක්. 1988 අවුරුද්දෙදී රජයේ හමුදාව, ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව මධුෂ්ගේ අම්මාව ගේ ඉස්සරහදි වෙඩි තියලා මරනවා.

මැරුවට පස්සේ තාත්තා වෙන නෝනා කෙනෙක් එක්ක යනවා. මධුෂ්ව හදාගන්නෙ පවුලේ ඉන්න අනෙක් මිනිස්සු. හැබැයි ජනතා විමුක්ති පෙරුණේ කවුරුවත් ගිහිල්ලා තමන්ගේ මැරිච්ච සාමාජිකාවගේ පවුලේ මිනිස්සු කොහොමද ඉන්නේ කියලා බැලුවේ නෑ. එහෙම බැලුවා නම් ජවිපෙ ගිහිල්ලා ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවෙන්, යූ.එන්.පී. ආණ්ඩුවෙන් මරපු මිනිහාගේ ගෙදර ගිහිල්ලා බලන්න තිබුණා.

එහෙම නම් මධුෂ්ව නිර්මාණය කළ අය කවුද?

ජපානෙට පරමාණු බෝම්බ දානකොට ඇමෙරිකන්කාරයා පරමාණු බෝම්බයෙන් පස්සේ වසර ගණනාවක් ඒකේ ප්‍රතිඵල දිග්ගැස්සෙමින් තිබුණා. අදටත් ඒක තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතිකළ භීෂණයේ ප්‍රතිඵලයක් තමයි මධුෂ්ගෙ නිර්මාණය. මධුෂ්ගෙ නිර්මාණය මධුෂ්ව නිර්මාණය කළේ ජවිපෙ දේශපාලනයයි. ප්‍රේමදාස ආණ්ඩුව ඒ නැඟිට්ට තරුණයන්ව මර්දනය කරපු විදියත් වැරැදියි. මධුෂ්ගේ තාත්තගෙ මළ ගෙදරට ගියාම ජවිපෙ මට ගහනවා මධුෂ් එක්ක සම්බන්ධයි කියලා.

මේ කතා කරන බාල මල්ලි පාර්ලිමේන්තුවේ කතා කරන කොට මේ පාර්ලිමේන්තුවේ ඉඳලා මීටර් 500ක් දුරින් කිඹුලාවල මගේ ලොකු අයියා වඩේ බදිනවා.

අපි හොරකම් කර නෑ

අපේ ජීවිතේ අපි කවුරුවත් හොරකම්, මැරකම් කරලා නෑ. බුලත් කොළයක්වත් මිනිහෙක්ගෙ වත්තකින් කඩාගෙන නෑ. මේ පාර්ලිමේන්තුවට ආවේ අපි තමුන්නාන්සේලාගේ දේශපාලන චින්තනය මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න නෙවෙයි. අපි ආවේ තමුන්නාන්සේලා වගේ වැඩ කරන්න නෙවෙයි. තමුන්නාන්සේලා ඕන දෙයක් කරන්න. මම අනුර කුමාර දිසානායක මහත්තයට ළඟට ගිහිල්ලා කිව්වා තමුන්නාන්සේලා මනුෂ්‍යත්වය හැරෙන්න මේ මහ පොළොවෙ වපුරන්නේ මොනවද කියලා මම ඇහුවා. මනුෂ්‍යත්වය හැරෙන්න මොනවද වපුරන්නේ? ජාති භේද, කුලභේද, ආගම් භේද මේ සියල්ලම වපුරන්නේ දේශපාලනඥයො විසින්.

ලෝකෙ කතා කරන්නේ, මේ වෙනකොට ලෝකේ වෙන රටවල්වල කතා කරන්නේ. ඊළඟට එන අභියෝග ගැන. ස්වාභාවික විපත්, පාරිසරික සාධක, ලෝක ගෝලය උණුසුම් වීම, ඒවා ගැන ලෝකෙ කතා කරන්නේ. ඇමෙරිකාවේ සෘණ 57ට උෂ්ණත්වය අඩු වුණා. ට්‍රම්ප් මොකද කිව්වේ? ට්‍රම්ප් කිව්වා ඒක විහිළුවට අරගෙන කිව්වා. මේ උණුසුම් වෙනවා. මෙන්න සෘණ 57යි කිව්වා. ඒක හාස්‍යට ගත්තා. ට්‍රම්ප් හාස්‍යයට ගත්තා. අපේ නායකයෝ මොනවද කියන්නේ?

මම අහනවා සභාපතිතුමියනි. මේ පාර්ලිමේන්තුවේ මොන දවසෙද මිනිස්සු ගැන කතා කළේ? අද මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ කතා කළේ එක් එක්කෙනාට ඇඟිල්ල දික්කර ගැනීම විතරයි. වෙන මොකවත් කතා කළේ නෑ. හැබැයි මේ රට හදන්න බැරිද? මේ රට හදන්න පුළුවන්. අවංක ඔළුවයි, පපුවයි තියෙන මිනිහෙක් ආවොත් අවුරුදු 10යි යන්නේ මේ රට හදන්න.

අපි නිදහස ලබාගන්නා විට රන් පවුම් කෝටි එක්ලක්ෂ විසිදහසක් තිබිච්ච රටක් මේක. හැබැයි නිදහසෙන් පස්සේ අපට මොකද වුණේ. නිදහස ලබාගන්න ඔක්කොම එකට ගිහිල්ලා නිදහස ලබාගන්න සටන් කළා. නිදහසෙන් පසසේ අපි ඔක්කොටම වෙන වෙනම දිනාගන්න තියෙන දේවල් වෙනුවෙන් සටන් කළා.

72 ව්‍යවස්ථාව ඊළඟට ආවා. හොරුන්, මංකොල්ලකාරයන්, කුඩු, මත්ද්‍රව්‍ය මේ මහපොළොවට ගේන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනැල්ලා සම්මත කළා. අවසානේ හොරු නිර්මාණය වුණා. මම මේ පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ කියන්න කැමැතියි 77න් පස්සේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හදන කොට ලෝක බැංකුවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි දෙනවා ආධාර. ආධාර දෙනවා, ආධාර ගලාගෙන එනවා. හැබැයි ව්‍යාපෘතිය ඉස්සරහට යන්නේ නෑ. එහෙන් නියෝජිතයෙක් ලංකාවට එවනවා. එවන සල්ලිවලට මොකද්ද කරන්නෙ කියලා බලන්න. නියෝජිතයෙක් එවනවා. නියෝජිතයා වාර්තාවක් හදලා යවනවා. ලෝක බැංකුවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි. මොකද්ද වාර්තාව.

වාර්තාව තමයි අපි එවන ලද මුදල්වලින් 40%ක් වියදම් කර ඇත. අනෙක් 60% නිලධාරීන්ගේ සහ ඇමැතිවරුන්ගේ සාක්කුවේ දමාගෙන ඇත. ඔන්න අපේ රට හදපු විදිය.
මේ රට හදන්නේ කොහොමද?

කරන්න තියෙන්නේ වැඩ දෙකයි. මේ රට හදනවා නම් කරන්න තියෙන්නේ වැඩ දෙකයි. එකක් පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් හදන එක විතරයි. අනෙක් පැත්තෙන් මේ ව්‍යුහය වෙනස් කරන එකයි මුජිබර් මන්ත්‍රිතුමා.


හොරෙක්, හොරෙක්, හොරෙක් නිර්මාණය වන හිල් ටික වහන්න විතරයි තියෙන්නේ. හොරෙක් එළියට ආවට පස්සේ හොරෙක් එළියට පැන්නට පස්සෙත් එළියට පැන්න හොරා නීතිමය රාමුව තුළින් කොටු කරගන්න නීතිමය රාමුව වෙනස් කරන එකයි තියෙන්නේ. ඒ දෙක විතරයි කරන්න තියෙන්නේ. කරන්නේ නෑ. ඇයි? ඇයි කරන්නේ නැත්තේ?

කරන්න බෑ. බලේ තියාගන්න ඕන. බලේ තියාගන්න ඕන. යහපාලනයේ කියලානේ ගරු මුජිබර් මන්ත්‍රිතුමා මේක ආවේ. අපේ පපුවේ තිබුණෙ නැද්ද ඇත්තටම යහපාලනයක් හැදෙයි කියලා. අපේ පපුවෙ තිබුණා. වෙච්ච යුද්දෙන් පස්සේ රට හදාගෙන ආපු විදිය ඇතුළේ මොනව හරි ප්‍රශ්න තිබුණා නම් ඒ ප්‍රශ්නවලටත් ජනතාව අනික් පැත්තට උත්තරයක් දුන්නා. බොරු මොනවාරි හරි හෝ අවලාද හෝ මොකක් හරි හේතුවක් නිසා අපි හිතුවා හැදෙයි කියලා.

මහ බැංකුවෙ හොරකම කතා කරන කොට ගරු මුජිබර් මන්ත්‍රිතුමා හෘද සාක්ෂිය තුළ රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහෙද හිටියේ. හෘද සාක්ෂිය ඇතුළේ කොහෙද හිටියේ. තමුන්නාන්සේලා හෘද සාක්ෂිය ඇතුළේ කොහෙද ඉන්නේ? ඒ කාගේ සල්ලිද?

ඒ කාගේ සල්ලිද? ඒ මේ මහ පොළොවේ තුන්වැනි පන්තියේ අපේ මිනිස්සුන්ගේ සල්ලි. අපේ මිනිස්සුන්ගේ සල්ලි. ඒවා දැන් කොහෙද තියෙන්නේ? මධුෂ් ගැන මහ උදම් අනනවා. තමුන්නාන්සේලා මතක තියාගන්න. මේ රටේ ඉන්නේ හරි නායකයෙක් නම් ඇලෝසියස්ලා රට යන්න විදියක් නෑ.

මේ නීතිය මට ප්‍රශ්නයක්

මේ රටේ නීතිය ගැන මට නම් ප්‍රශ්නයක් තියෙනවා. නීති පොත ගැන පමණක් නොව නීතිය ක්‍රියාත්මක කරන ඒ විනිශ්චයකාරවරු ගැනත් මට ප්‍රශ්නයක් තියෙනවා. මුජිබර් මන්ත්‍රිතුමා කියන සාධාරණය කොහෙද තියෙන්නේ. කොහෙද යුක්තිය තියෙන්නේ. යුක්තිය කා වෙනුවෙන්ද තියෙන්නේ? කෝ මේ මහ පොළොවෙ මිනිස්සුන්ට යුක්තිය. යුක්තිය කාගෙන්ද ඉල්ලන්නේ? කවුද යුක්තිය දෙන්නේ? හැමදාම මිනිස්සු රවට්ටපු එක විතරයි කළේ. මේ සමාජය තමුන්නාන්සේලා කොයිතරම් වහලා තිබුණත් කොයිතරම් වහලා තිබුණත් මේක නිරාවරණය වෙන දවසක් එනවා. මිනිස්සුන්ගේ ඇත්ත හෘද සාක්ෂිය එළියට එන දවසක් එනවා. ඒක එළියට පනිනවා.
දරාගෙන ඉඳලා, ඉඳලා ඉඳලා හොඳම පීඩනය ඇතුළෙන් හොඳම සබ්ජෙක්ට් එක එළියට එනවා.

තමුන්නාන්සේලා මේ වට පිටෙන් ඇහෙන්නෙ පෙරහරේ කස සද්ද විතරයි. තාම කසකාරයෝ ටික විතරයි. පෙරහර එනවා. ගරු සභාපතිතුමනි, මේ රටේ මේ වංචනික, ජඩ, ප්‍රෝඩාකාර, රැවටිලිකාර, මිනිහා ගැන නොහිතන දේශපාලනයේ අන්තිම දස වසර මේ ගෙවෙමින් පවතින්නේ. මේ අන්තිම දස වසර.

මං කියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් ඇමැතිවරුන්ට හොරකම් කරපු ඇමැතිවරුන්ට කෝටි ගණන් හොරකම් කරලා විළිලැජ්ජා නැතුව අහිංසක මිනිස්සුන්ගේ සල්ලි රුපියල් දෙක, විළිලැජ්ජා නැතුව හොරකම් කරලා හොඳම හෝටල්වලින් කාලා බීලා සැප, සුරසැප විඳලා මේ ඉන්න ඇමැතිවරුන්ට මන්ත්‍රිවරුන්ට මම කියනවා තමුන්නාන්සේලා අනිවාර්යයෙන්ම මම බෞද්ධයෙක්, බෞද්ධ දර්ශනය, බෞද්ධ දර්ශනයට අනුව තමුන්නාන්සේලා ඉපදෙන්නේ බල්ලො, කුකුල්ලු, උෟරො, හරක් වෙලා. ඉපදිලා මේ රටේ මිනිස්සුම තමුන්නාන්සේලාගේ ජීවය ආහාරයට ගන්නවා. ඒක තමයි ඇත්ත.

ඒ නිසා ගරු මම තමුන්නාන්සේට මුලින් මතක් කරනවා අද මේ කෝප් කමිටු වාර්තාව ඇවිල්ලා කෝප් කමිටුව ඉදිරිපත් කරන වාර්තාව. ඒකෙ තිබෙන කරුණු සම්බන්ධ ප්‍රතිඵලය අපි දැකලා නැහැ. ප්‍රතිඵලය දැකලා නැහැ. කෝප් කමිටුවෙන් කිව්වා තෙල් ටැංකි තව 16ක් තියෙනවා ත්‍රිකුණාමලේ. මේ තෙල් ටැංකි අපට පාවිච්චියට ගන්න පුළුවන්. කෝටි ගණනක් වටිනා මේක ව්‍යාප්ත කරගනිමු කියලා. අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒක ඉන්දියාවට දෙන්න යෝජනා කළා. යෝජනා කළා. මම කියන්නේ මෙරට හදන්න ඇත්ත වුවමනාව තියෙන සත්‍ය තේරුම් ගත්ත ඇත්ත දර්ශනයක් තියෙන මිනිස්සුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සියලුම දෙනාට සුබ පතමින් මම නිහඬ වෙනවා.

ජේ.ටී. ද සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon