ඉකුත් වසර තුනේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන්න ජනපති පත්කළ කොමිසම වැඩ අරඹයි

  👤  2497 readers have read this article !
By mawbima 2019-02-11

2015 ජනවාරි මස 14 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ ආයතවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ 'ජනාධිපති පරීක්ෂණ කොමිසම' පැමිණිලි භාර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ඉහත කී කාලය තුළ රජයේ ආයතවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීමට සහ ඒවා කඩිනම් අපක්ෂපාතී පුළුල් විමර්ශනයකට ලක් කිරීම මේ කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

එබඳු වරදවල් සම්බන්ධයෙන් නීති ප්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීමට හා සාක්ෂි එක්රැස් කිරීමද මේ කොමිෂන් සභාව මඟින් සිදුවේ. ඉහත එක් කරුණක් හෝ කරුණු කිහිපයකට අදාළ ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංගී්‍රසි භාෂාවෙන් 'ලේකම් රාජ්‍ය ආයතවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02, දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ලිපිනයට යොමු කළ හැකිය.

සියලු පැමිණිලි 2019 මාර්තු 07 වැනිදා හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතු අතර එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම සහ ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතුය. තවද ඔහු හෝ ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති වන්නේ නම් එසේ කිරීමට ද ඉල්ලා සිටිය හැකිය. කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමැති ආයතන / පුද්ගලයන්ට 011-2665382 අංකයට දුරකථන ඇමැතුමක් ලබාදී 2019 මාර්තු 07 වැනිදා හෝ ඊට ප්‍රථම දිනයක් නියම කර ගත හැකිය.

විශ්‍රාමික ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් මේ විශේෂ කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ ඉකුත් ජනවාරි 17 දිනයි. කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 03ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06ක් ඇතුළත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon