සැප රියෙන් කේරළ ගංජා ගෙනගිය තුන්දෙනෙක් ගල්තුඹේදී අත්අඩංගුවට

  👤  615 readers have read this article !
By mawbima 2019-01-23

කොළඹ - එම්. සී. පෙරේරා


සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වටිනා කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු බණ්ඩාරගම ගල්තුඹේදී ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාසයේ නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.


මීට මාස පහකට පමණ පෙර කේරළ ගංජා සමඟ බණ්ඩාරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් කාන්තාවක් මේ වන විට එම ව්‍යාපාරය කළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පුද්ගලයකු හා සම්බන්ධ වී මහ පරිමාණයෙන් සිදු කරන බවට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයෙන් අනතුරුව ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී එම කාන්තාව හා පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.


අත්අඩංගුවට ගත් මෙම කාන්තාව කළුතර ආපන ශාලාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුට මීට දින කිහිපයකට ඉහතදී වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධව කළුතර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පාතාල සාමාජිකයාගේ පෙම්වතිය බව පොලිසිය කියයි. ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඔහුගේ උපදෙස් මත සැකකාර කාන්තාව කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන ගොස් ඇති අතර ඒ සඳහා උපක්‍රමයක් ලෙස පානදුර හා කළුතර ප්‍රදේශවල කුලී පදනම මත නිවාස පවා ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.


පයාගල - බේරුවල සිට රත්මලාන දක්වා කේරළ ගංජා මේ අයුරින් බෙදා හැරීමේ කටයුතුවල නිතර වී ඇත්තේ කුලී පදනම මත නිවාස සොයන මුවාවෙන් බවත් පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.


අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු පයාගලදී පුද්ගලයකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයකු බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.


ඔහු කළුතර කලමුල්ල පදිංචි අයකු බවත් අනෙක් පුද්ගලයා කළුතර බෝම්බුවල පදිංචි අයකු බවත් පවසන පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාව මොරටුව මෝදර පදිංචිකාරියක් බවත් පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon