ප්‍රියංක ප්‍රනාන්දුට විදේශ අධිකරණ වරෙන්තුවක් ඇති බවට නිල තොරතුරු නෑ

  👤  567 readers have read this article !
By mawbima 2019-01-23

චාමර අමරසූරිය


බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බි්‍රතාන්‍ය අධිකරණයකින් වරෙන්තුවක් නිකුත් කළ බව පැවසෙන සිද්ධියට අදාළව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මෙතෙක් නිල තොරතුරක් ලැබී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා 'මව්බිම'ට පැවැසීය.

නමුත් පළ වන විදෙස් වාර්තා සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක කටයුතු භාරව සිටි බි්‍රගේඩියර් ප්‍රියංක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙසට වෙස්මිනිස්ටර් අධිකරණය පෙරේදා (21දා) දින වරෙන්තු නිකුත් කළ බව 'ටැමිල් ගාර්ඩියන්' වෙබ් අඩවිය ඇතුළු විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබිණි.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව එරට පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයාගෙන් කරුණු විමසූ බවත් බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව පුද්ගලයන් තිදෙනකු එරට අධිකරණයක නඩු පවරා ඇති බවත් එහිදී දැන ගැනීමට හැකි වූ බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


ඉකුත් වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදුණු මෙරට නිදහස් දිනයට සමගාමීව බි්‍රතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටද සැමරුම් උත්සවයක් ශ්‍රී ලාංකිකයන් විසින් පැවැත්වූ අතර ඊට විරෝධය පෑමට පැමිණි දෙමළ ඩයස්පෝරාවේ පිරිස හට බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් පෙන්වීමත් සමඟ එය මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය.
පසුව බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි දිවයිනට කැඳවීමටද යුද හමුදාව කටයුතු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon