විශ්වගේ පැමිණීම පළමු ටෙස්ට් තරගයෙන් පසුවයි - ශ්‍රී ලංකා කළමනාකරු වේගපන්දු යවන්නන් යොදාගෙන වෙනසක් කරනවා - පුහුණුකරු රුමේෂ්

  👤  2035 readers have read this article !
By mawbima 2019-01-23

දිවා-රාත්‍රී ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ප්‍රථම වරට හමුවන මෙහි ගැබා ක්‍රීඩාංගණයෙදීම කණ්ඩායම් දෙකම ඊයේ (22දා) පස්වරුවේ පුහුණුවීම් කටයුතුවල නිරත වූ අතර පුහුණු කටයුතුවලින් පසුව "මව්බිමට" අදහස් දැක්වූ ශ්‍රී ලංකා කළමනාකරු ජෙරී වවුටස් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් හෙට ඇරැ‍ෙඔන ටෙස්ට් තරගය සඳහා යහපත් ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බවයි.

හෝබාර්ට් හිදී පැවැති පළමු පුහුණු තරගයේදී රොෂේන් සිල්වා නොදැවී පිටියෙන් ඉවත් වූයේ කිසිදු ආබාධයක් නිසා නොවන බවද පැවැසූ ශ්‍රී ලංකා කළමනාකරුවා වැඩිදුරටත් කියා සිටියේ ආරම්භයේදීම ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් ඊයේ (22දා) ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය බවත් ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති විශ්ව ප්‍රනාන්දු ප්‍රථම ටෙස්ට් තරගයෙන් පසුව කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවත්ය. "වීසා ලබා ගැනීම ප්‍රමාදවීම හේතුවෙන් විශ්වට ප්‍රථම ටෙස්ට් තරගයට පෙර මෙහි පැමිණ කණ්ඩායමට එක්වීමට නොහැකි වන බව දැනගන්න ලැබුණා" යනුවෙන්ද වවුටස් මහතා පැවැසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වේග පන්දුයැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායකගේ අදහස වන්නේ ඕස්ට්‍රේලියාවේදී මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ටෙස්ට් තරග 13දී පරාජයන් 11ක් හැර කිසිදු තරගයකින් ජයග්‍රහණයක් අත්කර නොගැනීමේ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය මෙම තරගාවලියේදී වෙනස් කළ හැකි බවයි. ඒ සඳහා පසුගිය ඉන්දියා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරන්නට ඉන්දියානු පන්දු යවන්නන් යොදාගත් උපක්‍රම තමන් හොඳින් අධ්‍යයනය කළ බවද රත්නායක මහතා ඊයේ පැවැති පුහුණු සැසියෙන් පසුව කියා සිටියේය. තම කණ්ඩායමේ පන්දු යවන්නන්ටද ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අමාරුවේ දැමීමට හැකි බව ඉන්දීය පන්දු යවන්නන්ගේ ක්‍රියාකලාපය මඟින් කියා දුන් බව පවසන ශ්‍රී ලංකා වේගපන්දු යැවීමේ පුහුණුකරුවා තවදුරටත් පවසන්නේ විවිධත්වයක් පෙන්නුම් කරන මෙම ගැබා තණතීරුවේදී දස්කම් දක්වන්නට හැකි පන්දුයැවීමේ තුරුම්පු තමන් සතු බවයි.

විශේෂයෙන්ම පසුගිය වසරේ බටහිර ඉන්දීය කෙදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරගාවලියේ පැවැති දිවා-රාත්‍රී තරගයේදී වේගපන්දු යවන ළහිරු කුමාර ඇතුළු ශ්‍රී ලංකා වේගපන්දු බළඇණියේ දස්කම් නිසාම එම දිවා-රාත්‍රී ටෙස්ට් තරගය ජයගත් ආකාරය සිහිපත් කරන පුහුණුකරු රත්නායක වැඩිදුරටත් කියා සිටින්නේ එම තරගය ජයගැනීමට එක් ඉනිමකදී කඩුලු 7ක්ම ලබා ගත් ළහිරු කුමාර පැයට කිලෝ මීටර් 148 වැඩි වේගයකින් පන්දු යැවිය හැකි දක්‍ෂයකු බැවින් ඔහු පිළිබඳව මෙන්ම සුරංග ලක්මාල් කෙරෙහි වැඩි බලාපොරොත්තු තැබිය හැකි බවයි. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස්ද සාර්ථකව පුහුණු කටයුතුවල නිරත වෙමින් ඇඟිල්ලේ ආබාධය සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවක් පෙන්නුම් කළ අතර පන්දු යවන්නන් සාර්ථක වුවත් ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු දුර්වලතා අතරින් මිදීමට අසමත් වුවහොත් පුහුණුකරුවන් හැමදාමත් කියන කතා වලින් ප්‍රතිඵලයක් නොවනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon