උතුරේ මහ ඇමැති ධුරයට මම තරග කරනවා

  👤  2152 readers have read this article !
By mawbima 2019-01-23

දමිළ ජනතා පක්ෂය (TMK)  නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දමිළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බව එම පක්ෂයේ නායක සී.වී. විග්නේශ්වරන් පැවැසීය.

ඔවුන්ගේ ඇතැම් ප්‍රතිපත්ති නිසා තමන්ට තවදුරටත් ඔවුන් සමඟ එකට එක්ව දේශපාලනයේ නිරතවීමට නොහැකි වූ වාතාවරණයක් ගොඩනැඟීම නිසා තමන්ට එවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව විග්නේශ්වරන් මහතා කියා සිටියේ ටී.එම්.කේ. පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල් පාරේ පිහිටි විග්නේශ්වරන් මහතාගේ නිවෙසේ පැවැති අවස්ථාවේදීය.

මේ මධ්‍යම කාරක සභාවේදී දෙමළ ජනතා පක්ෂයේ මධ්‍යම කාරක සභාව සංශෝධනයට ලක් කරමින් විසි දෙනකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාවක්ද පිහිටුවා ගෙන තිබේ.

එහිදී සී.වී. විග්නේශ්වරන් මහතා මෙසේද පැවැසීය. මේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යෑමට සූදානම්. දමිළ ජාතික සන්ධානය යටි කූට්ටු වැඩපිළිවෙළක් දියත් කරමින් මාව එම පක්ෂයෙන් අෑත් කිරීමට කටයුතු කළා. කුමන හේතුවක් මතවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට තරග කිරීමට මා ගෙන ඇති තීරණය වෙනස් කරන්නේ නෑ.

මා විසින් පිහිටුවා ගන්නා ලද දමිළ ජනතා පක්ෂය යළි කිසිම විටක දෙමළ ජාතික සන්ධානය සමඟ ගනුදෙනුවක් කරන්නේ නෑ. දමිළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් සිටින සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සමඟත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ දමිළ ජාතික ජනතා පෙරමුණ සමඟත් ඕනෑම වේලාවක කටයුතු කිරීමට, ගනුදෙනු කිරීමට මා සූදානම්.

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon