නව දැක්මක් ඇති අලුත් ආණ්ඩුවක් රටට ඕනෑ

  👤  2025 readers have read this article !
By mawbima 2019-01-23

මේ වනවිට රටෙහි ඇති වී ඇති අස්ථාවරභාවය විසඳිය හැක්කේ අලුත් නායකත්වයක් සහිත නව දැක්මක් ඇති ආණ්ඩුවකට පමණක් යැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.


හෙතෙම මේ බව පැවැසුවේ ඊයේ (22දා) කොළඹ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ මහතා මෙසේද කීය.

නලින් බණ්ඩාර කියලා තිබුණා පළාත් සභා පැවැත්වීමට වඩා ජනාධිපතිවරණයක් පැවැත්වීම වැදගත් බව. ඒක ජනාධිපතිවරයාගේ අදහස අනුවයි පැවැත්වෙන්නේ. වසර පහ අවසානයේ ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවයි.

පාර්ලිමේන්තු මැතිවරණය අවුරුදු හතරයි මාස හයකින් ජනාධිපතිවරයාට විසුරුවන්න හැකි බව අධිකරණය කිව්වා. දැන් පළාත් සභා මැතිවරණයයි තියන්න ඕනේ. පළාත් සභා නොතියා සිටීමයි එජාපයේ උපක්‍රමය වෙලා තියෙන්නේ. අපි දමිළ සන්ධානය ජය ගන්න බව දැන දැන උතුරු පළාත් සභා මැතිවරණය තිබ්බේ ජනතාවට තමන්ගේ නියෝජිතයෝ පත්කරගන්න අවස්ථාව දෙන්නයි. මේ ආණ්ඩුව පළාත් සභා විකෘති කරලා. දැනට තියෙන ක්‍රමයට පළාත් සභා පැවැත්වුවොත් 50% ලිස්ට් එකෙන්. 50%ක් ඡන්දයෙන්. දැන් මහ ඇමැතිවරු අධිකරණයට යන්න සූදානම්. දැන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණයක් බවයි අපි විශ්වාස කරන්නේ. පාර්ලිමේන්තුව එකඟ වෙනවා නම් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නත් පුළුවන්.

මහ බැංකුව මඟින් ඩොලර් බිලියන 90 බැඳුම්කර ලබා දෙන්න තීන්දු කරලා. එහි එක් කොටසක් පෙබරවාරි සහ අනෙක් කොටස අප්‍රේල්වලදී ගෙවන්න සූදානම්. මේ අලුත් මුදල් අච්චු ගැසීම දැවැන්ත අර්බුදයක් ඇති කරන්නක්.

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා,
මහ බැංකු අධිපතිතුමා පැහැදිලිව කියනවා 2019 වර්ෂය මේ රටේ ආර්ථික අතින් ඉතාම පීඩනයට පත්වෙන වර්ෂයක් බව. ඩොලරය අවප්‍රමාණයට ලක්වීම 15% දක්වා වැඩිවීම, අපේ සංචිත අඩුවීම, ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5 ණය ගෙවන්න මේ වසරේ සිදුවීම වැනි දේවල් මේ තත්ත්වයට බලපා තිබෙනවා. අපේ සංචිත තියෙන්නේම ඩොලර් බිලියන පහයි. ස්වරීත්ව බැඳුම්කරවල ඇමෙරිකන් ඩොලර් මිලියන 1500ක් කල් පිරෙනවා. එහි පොලිය ගෙවන්න ඕනේ. ආණ්ඩුවට ගම්පෙරළියට කීයක්වත් දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. සමෘද්ධි සහනාධාරය දීගන්න බැහැ. ආණ්ඩුවේ ඇමැතිවරු සහන දෙන හැටි ගැන පුවත්පත්වල ලිපි ලියුවට ඒ එකක්වත් දෙන්න බැහැ. අයවැයෙන් රුපියල් මිලියන 2200යි, රුපියල් මිලියන 900යි වෙන් කරලා තියෙන්නේ. ආණ්ඩුව මේවා ඉදිරි කාලයේදී හොයන්න ඕනේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවත් දමිළ ජනතාවගේ ඡන්ද ගන්න බලාගෙන කරපු වැඩක්. දිගම්බරන් ඇමැතිවරයා දැන් කියනවා සුමන්තිරන්ට ඕනේ විදියට ආණ්ඩුව කරන්න අපි ඉඩ දෙන්නේ නැහැලු. එහෙම කරන්න හදපු නිසානේ දිගම්බරන් එවැනි ප්‍රකාශයක් කරන්නේ.

මේ හැමදේකින්ම අපිට පේන්නේ මේ ආණ්ඩුවේ කාලය ඉකුත් වෙලා කියලා. මේ කල් පිරුණු ආණ්ඩුව මහජනතාවට බලය දීලා කරුණාකරලා ඉවත් වෙන්න. අපේ පක්ෂයෙත් ඉඳපු නායිකාවක් මේ දිනවල එකතු වෙන්න එපාලු. මහජනතාව ප්‍රතික්ෂේප කරයිලු. එහෙම වෙන්නේ නැහැනේ. අවසානයට තිබුණු පළාත් පාලන මැතිවරණයේදීත් ජනතාව පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා තමන්ගේ තීරණය. මේ ජාත්‍යන්තර සල්ලිවල වුවමනාව මත කෙරෙන දෙයක්. වෛරය වෙන්න පුළුවන්. ඒ සියල්ල එකතු කරන් රාජපක්ෂ විරෝධයක් හදන්න උත්සාහ කරනවා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon