විමර්ශන අවසන් වනතෙක් බන්ධනාගාර අධිකාරිට මාරුවක්

  👤  3043 readers have read this article !
By mawbima 2019-01-22

කුමුදු උපුල් ශාන්ත

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකට එහි නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කළ යුතුව ඇති බවත් එකී විමර්ශන සිදුකර අවසන් කරන තෙක් එහි අධිකාරිවරයා තාවකාලිකව වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යැවිය යුතු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ බන්ධනාගාර දෙපාර්තමේන්තු ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් එම නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ (21දා) බන්ධනාගාර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරමින් ඒ බව දන්වා ඇති අතර එකී ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබුණේ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදිය.

බන්ධනාගාර නිලධාරීන් එහි රඳවා සිටි රැඳවූවන් පිරිසකට පහරදී ඇත්තේ එක් සිරකරුවකු බන්ධනාගාරය තුළ තිබූ යකඩ පොල්ලක් ගලවාගෙන තවත් සිරකරුවකුට පහරදීමේ සිද්ධියක් පාලනය කිරීමට යෑම්දී බවට කරුණු අනාවරණය වන බවද එම කමිටු වාර්තාවේ නිර්දේශ මඟින් තවදුරටත් පෙන්වාදී ඇත.

ඉහත කී පළමු කමිටු වාර්තාව ඊයේ දිනයේදී බන්ධනාගාර අමාත්‍යාංශය හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති හා අගමැති ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත දෙවැනි ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කර ඇති අතර එම කමිටු වාර්තා ඉදිරි දින කීපය තුළ ඉදිරිපත් කිරීමට නියමිතය.

එම පහරදීමේ සිද්ධිය සිදුව ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 21, 22 යන දෙදින තුළ බව සිරකරුවන් සුරැකීමේ සංවිධානය වීඩියෝ පට මඟින් මාධ්‍ය වෙත හෙළි කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon