මුලතිව්හි අනතුරකින් කමාන්ඩෝ මේජර් හා කෝප්‍රල් මිය යති

  👤  3076 readers have read this article !
By mawbima 2019-01-22

චාමර අමරසූරිය, මුලතිව් - ශෂිකුමාර්,

මඩුකන්ද - දීපාල් බණ්ඩාර, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මුලතිව්, පුලයන්කුලම් ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි, කෝඩාලිකල්ලු ප්‍රදේශයේදී ඊයේ (21දා) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ මේජර්වරයකු හා සෙබළකු මියගොස් තවත් 04 දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි නෙඩුක්කේනි පොලිසිය කීය.

ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණීම හේතුවෙන් යුද හමුදාපතිවරයාද පැමිණි අතර එම අවස්ථාවට පැමිණි යුද හමුදාතිවරයාගේ ආරක්ෂක ජීප් රථයක් මුලතිව් සිට වවුනියාව දෙසට ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

යුද හමුදා ජීප් රථය ගමන් කරන අවස්ථාවේදී මාර්ගය හරහා ගවයකු පැන ඇති අතර එහිදී ගවයා බේරීමට යෑමේදී වේගය පාලනය කරගැනීමට නොහැකිව ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තල් ගසක වැදීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මෙහිදී බරපතළ තුවාල ලැබූ යුද හමුදා කමාන්ඩෝ සෙබළුන් වහාම මුලතිව් මහ රෝහලට ඇතුළත් කළ අතර එහිදී යුද හමුදා සෙබළුන් දෙදෙනකු මිය ගොස් ඇත. බරපතළ තත්ත්වයේ සිටි සිවු දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

අනතුරින් කමාන්ඩෝ මේජර්වරයකු හා කෝප්‍රල්වරයකු මියගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන නෙඩුන්කේනි පොලිසිය වැඩදුරටත් කීය.

අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අඹේපුස්ස, කිනිදෙණියේ පදිංචිකරුවකු වූ මේජර් චාමර අසංක ලොකුලියනගේ (33), සහ හැටන් _ මුරුතැන්න පදිංචි කෝප්‍රල් නිලාන් ප්‍රදීප් ප්‍රේමතිලක (34) යන රණවිරුවන් දෙදෙනාය.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි යුද හමුදා සාමාජිකයන් 07 දෙනකු සිටි බව වාර්තා වේ.

ඉන් හයදෙනකු බරපතළ තුවාල ලබා නෙදුන්කේනි රෝහලට ඇතුළත් කිරීමේදී මේජර්වරයා සහ කෝප්‍රල්වරයා ජීවිතක්ෂයට පත් වී ඇති බවද පොලිසිය පවසයි.

ජනාධිපතිවරයාගේ මුලතිව් සංචාරයේ ආරක්ෂක කටයුතුවලට සහභාගි වී නැවත එමින් සිටි යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස අනතුරට ලක් වූ බවද පොලිසිය කියා සිටී.

ඔඩ්ඩුසුඩාන් පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon