සිගරැට් භාවිතය වැඩිවන බවට රට තුළ ජනමතයක් ඇති කිරීමට උත්සාහ දරනවා

  👤  3082 readers have read this article !
By mawbima 2019-01-22

උදයන්ති මුණසිංහ

දුම්කොළ සමාගම් නීති විරෝධී සිගරැට් ගෙන්වා එම සිගරැට් භාවිතය වැඩි වන බවට රට තුළ ජනමතයක් ඇති කිරීමට උත්සාහ කරන බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි.

දුම්බීම අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග 10න් 09ක්ම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන බව පැවැසූ අමාත්‍යවරයා දුම්වැටි සඳහා 90%ක බදු පැනවීමේදී විවිධ බලපෑම් එල්ල වූ බවත් සඳහන් කළේය.

දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් භාවිතයෙන් ඉවත් වී ඇති බවත් දුම්වැටි වෙනුවට බීඩි භාවිතය වැඩි වී ඇති බවට බොරු මතයක් රට තුළ ඇතිකර ඇති බවත් අමාත්‍යවරයා කීය. නීති විරෝධී සිගරැට් භාවිතය වැඩි වෙනවා නම් රජය, පොලිසිය, ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව එය පාලනය කිරීමට පියවර ගත යුතු බවත් දුම්කොළ සමාගම් විසින් නීති විරෝධී සිගරැට් ලංකාවට ගෙන ඒමට කටයුතු කර අනතුරුව දුම්කොළ සමාගමම ඔත්තුව ලබාදෙන අතර නීති විරෝධී සිගරැට් භාවිතය වැඩි වී ඇතැයි රට තුළ ජනමතයක් නිර්මාණය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.

මහාචාර්ය සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඔෟෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් හොරණ _ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදිකළ හය වැනි ඔෟෂධ හා සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියරේ ඔෟෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (20දා) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මේ කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 2.5කි. මෙරට තරුණ තරුණියන් 450කට මෙමඟින් රැකියා හිමි වන අතර ඔෟෂධ, ඔෟෂධ ආලේපන, සුවඳ විලවුන් නිෂ්පාදනය මෙමඟින් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී මෙරටට අවශ්‍ය ඔෟෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයන් 46 දෙනකු සමඟ රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අස්සන් කොට තිබේ.

ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල කර්මාන්ත ශාලා 5ක් මේ වනවිට ඔෟෂධ නිෂ්පාදනය කරන බවත් 2020 වනවිට මෙරටට අවශ්‍ය
ඔෟෂධ 85%ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට හැකි වන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon