ඒකීය යන වචනය භාෂා තුනෙන්ම යෙදීමට දෙමළ දේශපාලන පක්ෂ එකඟ වුණා

  👤  3066 readers have read this article !
By mawbima 2019-01-22

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

විශේෂඥ කමිටු වාර්තාවේ 'ඔරුමිත්තනාඩු' යන වචනය තිබුණට කලබල නොවිය යුතු බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත මුළු පාර්ලිමේන්තුවම නියෝජනය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟින් සකස් කරන විට 'ඒකීය' යන වචනය, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම යෙදිය හැකි බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය මහනුවර සංවර්ධන ඇමැති සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් මණ්ඩලය රැස්වන විට 'ඒකීය' යන වචනය භාෂා තුනෙන්ම යෙදීමට දෙමළ දේශපාලන පක්ෂ එකඟ වූ බවත් රටේ ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් බුද්ධාගමට ප්‍රමුඛතාව ලබාදෙමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සියලුම පාර්ශ්ව වලට මේ අවස්ථාවේදී එක්විය හැකි බවත් කිරිඇල්ල මහතා කීය.

ඕනෑ තරම් යෝජනා ඉදිරිපත් විය හැකි බවත් 'ඔරුමිත්තනාඩු' වචනයට අමතරව තවත් වචන මේවායේ තිබිය හැකි බවත් පෙන්වා දෙන කිරිඇල්ල අමාත්‍යවරයා ඒවාට කලබල නොවී සියලුම දෙනාට එකඟ විය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්ට තිබෙන බව ප්‍රකාශ කරයි. මීට පෙර 1972 සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සහ 1978දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන විට දෙමළ දේශපාලන පක්ෂ එය වර්ජනය කළ බවත් මෙවර ඒකීය රාජ්‍ය පිළිගෙන දෙමළ දේශපාලන පක්ෂ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට එක්ව සිටීම රටම ලබාගත් ජයග්‍රහණයක් බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon