ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලත් කොට්ටාවේ නන්ද නාහිමිට ජනපති විජිනිපත පිළිගන්වයි

  👤  3067 readers have read this article !
By mawbima 2019-01-22

පහන් විජේසේකර

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කොට්ටාවේ නන්ද ස්වාමීන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වෙමින් උන්වහන්සේ සිදු කරන්නා වූ මහා ශාසනික මෙහෙවර අගයමින් වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වංශාවතංස දේශාන්තර ශාසනාභිමානි විශ්ව කීර්ති විභූෂණ ශාසන ගෞරව සහිත මෙම අභිනව ධුරය උන්වහන්සේ වෙත පිළිගැන්විණි.

අභිනව නායක ස්වාමීන් වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීම මඩකඩ ආරණ්‍ය සේනාසනවාසී මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මහානායක අම්පිටියේ මංගල නායක ස්වාමීන් වහන්සේ අතින් සිදු කෙරුණු අතර විජිනිපත පිළිගැන්වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.

මෙහිදී 'නන්දාභිනන්දන' ශාස්ත්‍රීය ග්‍රන්ථය ද මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු පැමිණ සිටි පිරිසට බෙදා දීමද සිදු කෙරිණි.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මහනායක අතිපූජ්‍ය අම්පිටියේ මංගල නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ලේඛකාධිකාරි, ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත උපුල්විල ශාසනසුමන ස්වාමින් වහන්සේ ප්‍රමුඛව මහා සංඝ රත්නයද තානාපතිවරුන් ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක්ද මේ පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.
ඡායා - ඒශාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon