විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

  👤  3080 readers have read this article !
By mawbima 2019-01-22

කේ.එස්. උදයකුමාර්

ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට අධිකරණය මඟින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන මස 25 වැනිදා තෙක් තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ (21දා) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගන්නා නඩුවකට පෙනී සිටින හෙයින් මෙම නඩුවේ වැඩිදුර විභාගය සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 28 වැනිදා දක්වා කල් දැමූ විනිසුරුවරයා එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට අවවාද කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා තවත් ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට අධිකරණය මඟින් පනවා තිබෙන විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය මීළඟ නඩු දිනය දක්වා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා වෙත අධිකරණය මඟින් නිකුත් කර ඇති විදේශ ගමන් තහනම් නියෝගය ලබන මස 25 වැනිදා දක්වා ඉවත් කිරීමට නියෝග කෙරුණු අතර ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකරදීම වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා වෙත චෝදනා එල්ල කර තිබේ.

එම රුපියල් ලක්ෂ 355ක මුදල ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාද අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි මෙම නඩුව මඟින් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon